මන්නාරම සමූහ මිනීවලේ ඉදිරි වැඩ ගැන තීන්දු ගැනීමට තවත් වාර්තා

Report
3Shares

ශතවර්ෂ ගණනක් පැරණි බවට එක්සත් ජනපද විද්‍යාගාරයකින් නිගමනය කරන ලද මිනිස් ඇටකටු හමුවූ මන්නාරම සමූහ මිනීවලේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් තීන්දු ගැනීම සඳහා තවත් විශේෂඥ වාර්තා කිහිපයක් අධ්‍යයනය කිරීමට බලධාරීන් තීරණය කර තිබේ.

ශ්‍රී ලංකාවෙන් ගෙනගිය අස්ථි නියැදි හයක් විශ්ලේෂණය කොට ෆ්ලොරීඩාවේ බීටා ඇනලිටික් ආයතනය විසින් ලබා දී අධිකරණය විසින් ප්‍රසිද්ධියට පත් කරනු ලැබූ වාර්තාවේ සඳහන් පරිදි ඒවා අයත්වන්නේ පහළොස් වැනි සියවසත් දහඅටවැනි සියවසත් අතර කාල වකවානුවලටයි.

වාර්තාව ප්‍රසිද්ධියට පත් කිරීමට පසුදා මන්නාරම මහේස්ත්‍රාත් ටී සරවනරාජා විසින් දින නියමයකින් තොරව කැනීම් කටයුතු අත්හිටුවීමට නියම කරන ලදී.

සමූහ මිනීවලේ ඇති සිරුරු අයත් කාල වකවානුව පිළිබඳ අවසාන තීන්දුවක් අධිකරණය විසින් ප්‍රකාශයට පත් කර නැත.

කැනීම් ආරම්භ කිරීම ඇතුළු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව එකඟතාවක් ඇති කර ගැනීම සඳහා අදාළ සියලු පාර්ශව සහභාගි වන සාකච්ඡා ඉදිරි සති කිහිපයේදී පැවැත්වෙනු ඇති බව සතොස සමූහ මිනීවලේ වෝහාරික කටයුතු භාර විශේෂඥයා ප්‍රකාශ කරයි.

“ඒ වාර්තාව විතරක් නෙවෙයි අවශ්‍ය සියලු වාර්තා ලබාගෙන කැනීම් කටයුතු වලට සම්බන්ධ සියලු දෙනාම එකතු වෙලා සාකච්ඡා කරනවා ඉදිරි කටයුතු කොහොමද කරන්නේ කියලා,” යි අධිකරණ වෛද්‍ය නිලධාරී සමින්ද රාජපක්ෂ ගගන කළ විමසීමකදී කියා සිටියේය.

“සමහර වාර්තා අධිකරණයට ලැබිලා තියෙනවා, සමහර ඒවා ලැබිලා නැහැ. ඒ වාර්තා සියල්ලක්ම අරගෙන ඊට පස්සේ සියලු දෙනාගේම අදහස් අරගෙන තමයි ඉදිරි ක්‍රියාමාර්ග ගැන තීරණයක් ගන්නේ. ඔක්කොගෙම අදහස් විමසුවාට පස්සේ මහේස්ත්‍රාත් තුමා නියෝගයක් දෙයි කොයි විදියට ඉදිරියේ කටයුතු කරන්න ඕනෙද කියන එක.”

අතුරුදහන් වූ තැනැත්තන් පිලිබඳ කාර්යාලය (OMP), පුරාවිද්‍යාඥයන් සහ අතුරුදහන් වූවන්ගේ ඥාතීන් නියෝජනය කරන නීතිඥයන් සාකච්ඡා සඳහා සහභාගි වනු ඇති බව වෛද්‍ය සමින්ද රාජපක්ෂ වැඩිදුරටත් කියා සිටියේය.

“අනාගත ක්‍රියාමාර්ගය තීරණය කිරීම සඳහා OMP කාර්යාලය මන්නාරම මහේස්ත්‍රාත්වරයාගේ උපදෙස් බලා සිටී,” යි අතුරුදහන් වූ තැනැත්තන් පිලිබඳ කාර්යාලය ප්‍රකාශ කර තිබේ.

අනතුරු ඇඟවීමක්

එක් විශේෂඥ වාර්තාවක් පාදක කර ගනිමින් පමණක් මන්නාරම සමූහ මිනීවලේ දින නියම කිරීමට යුහුසුළු නොවන ලෙසට අනතුරු අඟවන අතුරුදහන් වූවන්ගේ ඥාතීන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ මණ්ඩලය තවත් වාර්තා අධ්‍යයනය කිරීමට තිබෙන බව තහවුරු කරයි.

“මන්නාරම සමූහ මිනීවලේ කැනීම් කටයුතු පිළිබඳව තිබෙන දැවැන්ත උනන්දුව සහ අවධානය සම්බන්ධයෙන් සැලකිලිමත් වන අප, ලැබී ඇති වාර්තාව සමූහ මිනීවලේ එක පාර්ශවයක් පමණක් බව මහජනතාවට සහ ජනමාධ්‍ය වලට දැනුම් දෙන්නට කැමැත්තෙමු,” යි නීතිඥවරුන් විසින් නිකුත් කරන ලද නිවේදනයක දැක්වේ.

“පාංශු ස්ථර මෙන්ම එම පරිශ්‍රයෙන් සොයාගන්නා ලද මෙවලම් සහ බඩු බාහිරාදිය පිළිබඳ විශ්ලේෂණය සහ වාර්තා තවත් ලැබී නැති අතර, තිබෙන වාර්තාව මත පමණක් පදනම් වී සමස්ත ක්‍රියාදාමය ගැන අනුමාන ඉදිරිපත් කිරීම මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයේ උපදෙස් සහ අධීක්ෂණය යටතේ පවත්වාගෙන යන ක්‍රියා දාමය සම්බන්ධයෙන් අපරිණත සහ අගතිගාමී බලපෑමක් කරනු ඇත.”

ජනාධිපති නීතිඥ වී පුවිදරන් සමග රනිතා ඥාණරාජ්, වී එස් නිරංජන්, ජී රාජකුලේන්ද්‍රා සහ කේ එස් රත්නවේල් යන නීතිඥයන් නිවේදනයට අත්සන් තබා ඇත.

අපරාධයක් සිදුවූ ස්ථානයක් බවට හඳුනාගෙන ඇති මන්නාරම සමුහ මිනී වලේ දින 156 ක කැනීම් වලින් ළමුන් 30 දෙනකු ඇතුළු 342 කගේ සිරුරු ගොඩගෙන ඇති බව අධිකරණ වෛද්‍ය නිලධාරී සමින්ද රාජපක්ෂ පවසයි.