බලය බෙදීම ගැන TNA ජවිපෙ ද්විපාර්ශවීය සාකච්ඡා ඇරඹේ

Report
2Shares

ජාතීන් පදනම් කරගෙන බලය බෙදා හැරීමට විරුද්ධ ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා බලය විමධ්‍යගත කිරීම වෙනුවෙන් අරගල කරන දෙමළ ජාතික සන්ධානය (TNA) අතර බලය බෙදීම සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ වී තිබේ.

පක්ෂ දෙකේ ඉහලම මට්ටමේ නායකයන් සහභාගිවූ එහි මුල් හමුව පැවැත්වුනේ බත්තරමුල්ල, පැලවත්තේ පිහිටි ජවිපෙ මුලස්ථානයේදීය.

“සියලු ජනකොටස් බලයට හවුල් කරගන්නේ කෙසේද කියා සාකච්ඡා කරන්න අපි සුදානම්,” යයි ජවිපෙ නායක අනුර කුමාර දිසානායක සාකච්ඡාව හමාරයේ මාධ්‍යවේදීන් හා පැවසීය.

විධායක ජනාධිපති ධුරය මෙන්ම ශ්‍රී ලාංකික දේශපාලනයේ වර්තමානය සහ අනාගතය සම්බන්ධයෙන් ද අදහස් පල කෙරුනු සාකච්ඡාව ජවිපෙ නායකයා විසින් හඳුන්වන ලද්දේ “නව හැරවුමක්-නව දිශානතියක්” ලෙසිනි.

මීට ඉහතදී ජනපති, අගමැති දෙපල සමග දෙමළ ජාතික සන්ධානය පැවැත්වූ සාකච්ඡා වල දී බලය බෙදීම සම්බන්ධයෙන් ඇති කරගත් එකඟතා සඳහා සහාය ලබා දීමට ජවිපෙ නායකත්වය අනුමැතිය පල කළ බව ආර් සම්බන්ධන් මන්ත්‍රීවරයා මාධ්‍යවේදීන් හා පැවසීය.

ද්විපාර්ශවීය සාකච්ඡා මගින් රටේ ප්‍රධාන පක්ෂ දෙකේ ගමන් මාර්ගයට බලපෑමක් ඇති කළ හැකි බවට TNA ජවිපෙ නායක දෙපල විශ්වාසය පල කළහ.