අතුරුදහන් වූවන්ගේ ඥාතීන්ගේ මාසික දීමනාව “යුක්තියට හිලව් කරන්න බෑ” OMP

Report
3Shares

මෙවර අයවැයෙන් අතුරුදහන් වූවන්ගේ ඥාතීන් කණ්ඩායමකට මාසික දීමනාවක් ලබාදීම සඳහා වෙන්කළ මුදල දහස් සංඛ්‍යාත ජනකායකට යුක්තිය සලසා දීම වෙනුවෙන් හිලව් කළ නොහැකි බව අතුරුදහන් වූ තැනැත්තන් පිලිබඳ කාර්යාලය (OMP) අවධාරණය කරයි.

අතුරුදහන් වූ පුද්ගලයන් ගේ පවුල් වල සාමාජිකයන් අතර බෙදා දීම සඳහා 2019 අයවැයෙන් රුපියල් කෝටි පහක මුදලක් වෙන් කිරීමට මුදල් ඇමැති මංගල සමරවීර විසින් මාර්තු 5 දා යෝජනා කරන ලදී.

අයවැය මගින් අනුමත කර තිබුනේ එක් පවුලකට රුපියල් 6000ක් බැගින් වූ මාසික දීමනාවක් ලබාදීමට OMP කාර්යාලය පසුගිය අගෝස්තුවේ කර තිබූ අතුරු සහන යෝජනාවයි.

ඒ සම්බන්ධයෙන් ප්‍රසාදය පලකරන OMP කාර්යාලය අතුරු දීමනාව යුක්තිය වෙනුවට විකල්පයක් නොවන බව පෙන්වා දෙයි.

“ප්‍රමාණවත්, කඩිනම් සහ පලදායී හානිපුරණයක් මෙන්ම වගවීම සඳහා අධිකරණ ප්‍රතිකර්ම ලබාගැනීම සඳහා ද ඇති අයිතියට විකල්පයක් ලෙස මෙය හිලව් කළ නොහැකි,” බව OMP ප්‍රධානී සාලිය පීරිස් ගගන හා පැවසීය.

“සහන ලබා ගැනීම නිසි ප්‍රමාණවත් ඵලදායි හානිපූරණයක් සඳහා වන අයිතිවාසිකම කිසිසේත්ම අහිමි නොකරන අතර අධිකරණමය ප්‍රතිකර්මයන් මගින් වගවීමට ලක්කිරීමට ඇති අයිතියට කිසිඳු සීමාකිරීමක් ඇති නොකරයි,” යනුවෙන් OMP ය පසුගිය අගෝස්තුවේ ජනාධිපතිවරයාට භාර දුන් අතුරු නිර්දේශ රැගත් වාර්තාවේ දැක්වේ.

“මීට ඉහත වන්දි ලබාදීමේ ක්‍රියාවලින් විසින් වින්දිතයන් අතර අවිශ්වාසය ඇතිවීමටත් සත්‍ය සහ යුක්තිය ඉටුකිරීමට රජයේ ඇති කැමැත්ත සම්බන්ධයෙන් සැකයක්ද නිර්මාණය කරන ලදී.”

අතුරු සහන යෝජනාව අනුව ලබා දෙන දීමනාව ලැබෙනු ඇත්තේ “ක්‍රියාන්විතයේදී අතුරුදහන් වූ” හමුදා හා පොලිස් නිලධාරීන් ඇතුළු අතුරුදහන් වූ තැනැත්තන් අතරින් “දක්නට නොමැති බවට” රජයෙන් නිකුත් කරන සහතිකය ලබාගත් පවුල්වලට පමණකි.

එම සහතිකය ලබාගෙන ඇත්තේ සුළු පිරිසක් නිසා ඔවුන්ට පමණක් මාසික සහනය සැලසීමට ගෙන ඇති තීරණය ගැටළු සහගත බව පෙන්වා දෙන OMP කාර්යාලය අනිකුත් පවුල් සඳහාද මුල්‍යාධාර ලබාදීමේ අවශ්‍යතාව අවධාරණය කරයි.

“අතුරුදහන් වුවන්ගේ සහ ආගිය අතක් නැතියවුන්ගේ ඥාතීන් විසින් දක්නට නොමැති බවට සහතික ලබාගැනීමෙන් වැළකී සිටීමට හේතුවී ඇති අභියෝග හඳුනාගෙන එම අභියෝග වලට විසඳුම් ලබාදීම සඳහා උත්සාහ දරමින් සිටිමු,” යි OMP කාර්යාලය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

“මේ අභියෝග මෙන්ම, දැනට දක්නට නොමැති බවට සහතික ලබාගෙන ඇත්තේ සුළු පිරිසක් වීමද අවධානයට ගනිමින් ලියකියවිලි සහ අනන්‍යතාව තහවුරු කිරීම පිළිබඳ වෙනත් ක්‍රමවේද යොදාගනිමින් අතුරුදහන් වුවන්ගේ සහ ආගිය අතක් නැතියවුන්ගේ වෙනත් පවුල් වෙතද සහන ලබා දීම පුළුල් කිරීමට අවශ්‍ය පියවර ගැනීමට ආණ්ඩුව සමග එක්වී කටයුතු කිරීමට බලාපොරොත්තු වෙමු.”

උතුරු නැගෙනහිර අතුරුදහන්වුවන්ගේ ඥාතීන් තම සමීපතමයන් වෙනුවෙන් “දක්නට නොමැති බවට” සහතිකයක් ලබාගැනීම දැඩි ලෙස ප්‍රතික්ෂේප කර ඇත්තේ තමන්ට ඉල්ලා සිටින්නේ යුක්තිය විනා වන්දි නොවන බව අවධාරණය කරමිනි.