ඝාතනය කළ පුතකුගේ තාත්තාට මහින්ද සමරසිංහ තර්ජනය කළ බව සභානායක තහවුරු කරයි | VIDEO

Report
37Shares

යුද සමයේ සිසු දරුවකු ඝාතනය කිරීම ගැන සැක කෙරෙන ආරක්ෂක අංශ නිලධාරීන්ට එරෙහිව සාක්ෂි නොදෙන ලෙස බලකරමින් ඔහුගේ පියාට රාජපක්ෂ පාලනයේ මානව හිමිකම් අමාත්‍ය මහින්ද සමරසිංහ තර්ජනය කළ බව පාර්ලිමේන්තු සභානායක වරයා තහවුරු කර සිටී.

තම පුත්‍ර මනෝහරන් රජීකර් ඇතුළු දෙමළ සිසුන් පස් දෙනකු 2006 ජනවාරියේ දී ත්‍රිකුණාමලයේදී ඝාතනය කරන ලද්දේ පොලිස් විශේෂ කාර්ය සාධක බලකායේ (STF) සෙබළුන් පිරිසක් විසින් බව දොස්තර කාසිපිල්ලේ මනෝහරන් ජනාධිපති කොමිසමක් හමුවේද සාක්ෂි දෙමින් පවසා තිබුනි.

එසේ සාක්ෂි නොදෙන ලෙස දොස්තර මනෝහරන් ට බලපෑම් කරමින් මහින්ද සමරසිංහ හිටපු අමාත්‍යවරයා තර්ජනය කළ බව දැක්වෙන වාර්තාවක් ශ්‍රී ලංකාවේ සත්‍යය සහ යුක්තිය සඳහා වන ව්‍යාපෘතිය (ITJP) සමග හවුලේ ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS) විසින් පසුගිය සතියේ එලි දක්වා තිබුනි.

ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ දී තමන් නියෝජනය කිරීමට තෝරාගත් අයකු ලෙස ජනාධිපතිවරයා විසින් නම් කරන ලද මහින්ද සමරසිංහ “යුද අපරාධ සිදුවී නැති බව කියන, මාධ්‍යවේදීන්ට තර්ජනය කළ සහ මරා දමනු ලැබූ දරුවකුගේ පියා බිය වැද්දු” අයකු බව එම වාර්තාවේ සඳහන් වෙයි.

ඒ බව තහවුරු කරන පාර්ලිමේන්තුවේ සභානායකවරයා දොස්තර මනෝහරන් තම පැමිණිල්ල එක්සත් ජාතීන්ගේ සංවිධානය හමුවටද ගෙන ගොස් තිබෙන බව පාර්ලිමේන්තුවට සිහිපත් කර දුන්නේ ජනාධිපති වැය ශීර්ෂය පිළිබඳ විවාදයට සහභාගි වෙමිනි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ජිනීවා යවනු ලබන නියෝජිතයන් තේරීම ප්‍රවේශම් සහගතව කළ යුතු බවට ජනාධිපතිවරයාට අනතුරු ඇඟවූ කිරිඇල්ල අමාත්‍යවරයා “අරින කට්ටියගේ කැරැට්ටුව ගැන දන්නවා ඒ ගොල්ලෝ” යි කියා සිටියේය.

“ඇමැතිවරු ඒ ශිෂ්‍යයන්ගේ දෙමාපියන්ට කතාකරලා කියලා තියනවා සාක්කි දෙන්න එන්න එපා, අපි කොළඹින් ගෙවල් දෙන්නම් වාහන දෙන්නම් කියලා. ඩොක්ටර් මනෝහරන්ගේ පුතා මැරුවා,” යි සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල ප්‍රකාශ කළේ මහින්ද සමරසිංහ මන්ත්‍රීවරයා දෙසට අත් දිගු කරමිනි.

ඒ හෙළිදරව්ව ප්‍රතික්ෂේප කිරීමට ඉදිරිපත් නොවූ මහින්ද සමරසිංහ මන්ත්‍රීවරයා ජනාධිපතිවරයා විසින් නම් කරනු ලැබුවද මානව හිමිකම් මණ්ඩලයට සහභාගි වීම සඳහා තමන් ජිනීවා නොයන බව පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

බැසිල් රාජපක්ෂ

ත්‍රිකුණාමල පංච ශිෂ්‍ය ඝාතනයට STF භටයන් සම්බන්ධ බව ආණ්ඩුව දන්නා නමුත්, ඔවුන්ට නඩු පැවරීමට ප්‍රමාණවත් සාක්‍ෂි නැතැයි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ කී බව ඒ සමයේ ඇමරිකානු තානාපතිවරයා පවසයි.

“ඒක කළේ STF එක බව අපි දන්නවා උනත්, තුවක්කු සහ පතරොම් වලින් ඒක ඔප්පු කරන්න බෑ. කාව හරි මරන්න ඕනෑ උනාම ඔවුන් වෙනස් ආයුධ භාවිතා කරනවා වෙන්න පුළුවන්,” යි ,” යි බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කළ බව තානාපති රොබර්ට් ඕ බ්ලේක් විසින් 2006 ඔක්තෝබරයේ එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවට යවන ලද රහසිගත කේබල් පණිවිඩයක දැක්වේ.

විසිවැනි වියේ පසුවූ මනෝහරන් රජිකර්, හේමචන්ද්‍රන් යෝගරාජා, ලෝහිතරාජා රෝහන්, තංගතුරෙයි සිවානන්දා සහ ෂන්මුගරාජා ගජේන්ද්‍රන් යන පාසල් සිසුන් පස්දෙනා වෙඩි තබා මරා දමා තිබුනේ 2006 වසරේ ජනවාරි 2 දාය.

ත්‍රිකුණාමල මෘත ශරීරාගාරයේ ගබඩා කොට තිබු එම සිසුන්ගේ මල සිරුරු වල ඡයාරූප ප්‍රසිද්ධියට පත් කාරමින් ඝාතන පිළිබඳ ප්‍රබල හෙළිදරව් කිරීමක් කළ මාධ්‍යවේදී සුබ්‍ර‍නියම් සුගීර්දරාජන් ද එයින් සති තුනක් ගතවත්ම යාපනයේ දී වෙඩි තබා ඝාතනය කර තිබුනි.

මේ හයදෙනාගේම ඝාතන සිදුකර දහතුන් අවුරුද්දක් ගතවී ඇතත්, කිසිවකුටත් අද වන තෙක් නඩු පවරා දඬුවම් දී නැත.