නාවික හමුදාව කඳවුරු හැරයන තුරු මන්නාරමේ අඛණ්ඩ විරෝධතාවක් | VIDEO

Report
5Shares

දෙසියයකට අධික පවුල් සංඛ්‍යාවකට අයත් පාරම්පරික ඉඩම් වල වාඩිලාගෙන ඉන්නා නාවික හමුදාව කඳවුරු හැර යන තෙක් දියත් කර ඇති විරෝධතාවකට සති තුනකට ආසන්න කාලයක් ගතවීත් රජයේ බලධාරීන් ඒ සම්බන්ධයෙන් මැදිහත් නොවීම ගැන මන්නාරම් වාසී පිරිසක් මහත් කනස්සල්ලට පත් වී සිටිති.

මුසලි ප්‍රාදේශීය සභා කොට්ඨාශයට අයත් සිලාවතුර ගමේ පවුල් 218 කට අයත් මුස්ලිම් හා දෙමළ ජනතාව තම ඉඩම් ආපසු ඉල්ලන අරගලය ආරම්භ කර ඇත්තේ පෙබරවාරි 20 දාය.

“නාවික හමුදාව අපේ ඉඩම් අතහැර යන තාක් කල් අපි සටන අත හරින්නේ නෑ,” යි සිලාවතුර ප්‍රධාන මුස්ලිම් දේවස්ථානයේ මවුලවි වරයා පවසයි.

මන්නාරම සමාජ ආර්ථික සංවර්ධන මධ්‍යස්ථානයේ නියෝජිතයන් සමග ගිය මාධ්‍යවේදීන්ට විරෝධතා කරුවන් ප්‍රකාශ කළේ රජයේ බලධාරීන් තමන්ගේ ප්‍රශ්නය ගැන විමසීමටවත් නොපැමිණීම මහත් වේදනාකාරී බවයි.

“මේ ළඟම තමයි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තියෙන්නේ. අපේ පවුල් 218 ක් උන්හිටි තැන් නැතිවෙලා කරකියාගන්න දෙයක් නැතිව මෙච්චර දවසක් පාරේ ඉඳලත් කවුරුවත් ආවේ නෑ. හරිම හිතට අමාරුයි,” යයි ඒ ජී එම් හිල්මි මවුලවි තුමා පැවසීය.

සාමකාමීව ආරම්භ කර ඇති තම සටනට කල් නොයවා විසඳුමක් ලබා නුදුන්නොත් අරගල ක්‍රියාමාර්ග දැඩි කරන්නට සිදුවන බවට විරෝධතා කරුවෝ අනතුරු අඟවති.

“එහෙම උනොත් රජයේ කාර්යාල ඇතුළු ආයතන ඉදිරිපිටට අපේ විරෝධතාව ගෙනියන්න වෙනවා,” යි මොහොමඩ් අබුසයිබ් පැවසීය.

“ඒත් හරිගියේ නැතිනම් අපට සිද්ධවෙනවා ජනාධිපති කාර්යාලය ඉදිරිපිට අවහිර කරලා විරෝධාතා පවත්වන්න.”

එක් මාතාවක් මාධ්‍යවේදීන් හා කියා සිටියේ පරම්පරා පහක් තිස්සේ තමන් ජීවත් වූ ඉඩම් වල පාසල්, දේවස්ථාන හා ප්‍රජා ශාලා ඇතුළු මහජන ආයතන පිහිටා තිබු බවයි.

මුලතිව් දිස්ත්‍රික්කයේ කේපාපුලවූ ගම්වාසීන් හමුදාව වාඩිලාගෙන සිටින ඉඩම් ඉල්ලා ගෙනයන අරගලයට පිළිතුරු නොලැබී දැනට අවුරුදු දෙකකට වැඩි කලක් ගතවී තිබේ.