“වෙනසක් නැති” අලුත් ජිනීවා යෝජනාව ගැන ආණ්ඩුව සන්තෝසෙන්

Report
3Shares

හතර අවුරුද්දකට ඉහතදී දුන් පොරොන්දු ඉටු කිරීම තවත් කල් දැමීමට ඉඩ නොදෙන ලෙස යුද පීඩිතයන් කළ ඉල්ලීම නොතකා ජගත් මානව හිමිකම් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති යෝජනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ආණ්ඩුවේ සතුට පලවී ඇත.

යුද අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉටු කිරීම ඇතුළුව සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් රැකීමට පොරොන්දු වෙමින් 2015 දී සම්මත කරගන්නා ලද 30/1 යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා එක්සත් ජාතීන් වෙතින් තවත් කල් ඉල්ලීමට ශ්‍රී ලංකාව ද හවුල් වී සිටී.

එම අලුත් යෝජනාව දෙවසරකට ඉහතදී සම්මත කරගන්නා ලද යෝජනාව “හා සමානම” එකක් බව විදේශ අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

“දැනට කරගෙන යන ක්‍රියාවලිය අපට කරගෙන යාමට තව අවුරුදු දෙකක් කාලය ඉල්ලලා තියෙනවා. දැන් ඕකම තමයි අපි 2017 ත් කෙරුවේ,” යි තිලක් මාරපන අමාත්‍යවරයා ප්‍රකාශ කළේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ දී රජය කරන මැදිහත් වීම සම්බන්ධයෙන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ප්‍රශ්න කළ අවස්ථාවේදීය.

“මේකේ වෙනස තමයි මේ යෝජනාවේ අපි කියලා තියෙනවා පහුගිය අවුරුද්දේ අපි කරපු ඒවා,” යි විදේශ අමාත්‍යවරයා කියා සිටියේය.

මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වරිය විසින් ශ්‍රී ලංකාවේ ඉකුත් චර්යාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ විශේෂ වාර්තාවෙන් පෙන්වා දී තිබුනේ රජය පොරොන්දු ප්‍රකාර කටයුතු කර නැති බවයි.

අලුත් යෝජනාවත්, මහකොමසාරිස් වාර්තාවත් එකක් නොව දෙකක් බව විදේශ අමාත්‍යවරයා විසින් පෙන්වා දෙන ලදී.

කෙසේ වෙතත්, ජගත් සභාව හමුවේ ගිවිසගත් කටයුතු නිශ්චිත කාල රාමුවක් අනුව ක්‍රියාත්මක කිරීමට කල් දෙන ලෙස අලුත් යෝජනාවෙන් ඉල්ලා සිටින බව මාරපන අමාත්‍යවරයා පැහැදිලි කළේ නැත.

මිෂෙල් බැෂලේ මහකොමසාරිස් වරිය ගේ වාර්තාවෙන් පෙන්වා දී තිබුනේ දස වසරක් පැරණි යුද අපරාධ පමණක් නොව ඒ තරම්ම කල් ගිය ඝාතන, අතුරුදහන් කිරීම් සහ වධහිංසා සම්බන්ධයෙන්ද යුක්තිය ඉටු කිරීම දේශපාලන අත පෙවීම් නිසා වැලකී ගොස් ඇති බවයි.

එසේ වෙතත්, කැනඩාව, ජර්මනිය, මොන්ටිනීග්‍රෝව, උතුරු මැසඩෝනියාව සහ එක්සත් රාජධානිය විසින් ශ්‍රී ලංකාවද හවුල් කරගෙන කල් ගැනීමේ යෝජනාවක් සභාගත කර ඇත්තේ ආණ්ඩුවට එම අවසරය නොදෙන ලෙස යුද පීඩිත දෙමළ ජනතාව කළ ආයාචනය නොතකා හරිමිනි.

මහකොමසාරිස් වාර්තාවේ ඇති සෑම කරුණක්ම තමන් පිළිගන්නේ නැතැයි කී විදේශ අමාත්‍ය තිලක් මාරපන ජිනීවා සමුළුවේ දී ඊට විරුද්ධව කරුනු දක්වන බව පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

“ඉඩම් බාර දීලා නෑ කියලා වාර්තාවේ තියෙනවා” යි තම විරෝධය දක්වන එක් ක්ෂේත්‍රයක් ඔහු විසින් හුවා දක්වන ලදී.

එහෙත්, ඇමැති වරයා විසින් “මහකොමසාරිස් වරයා” ලෙස දිගින් දිගටම හඳුන්වනු ලැබූ මහකොමසාරිස්වරියගේ ප්‍රසාදය ලක්වී ඇති එක කාර්යයක් වන්නේ යුද හමුදාව විසින් ඉඩම් ආපසු පවරා දීමයි.

“උතුරු හා නැගෙනහිර පළාත් වල හමුදාව වාඩිලා ගෙන සිටි ඉඩම් ආපසු පැවරීම දිගටම සිදු කරන ලදී,” යි සඳහන් කරන වාර්තාව 2009 වනවිට අත්පත් කරගෙන තිබූ භූමියෙන් සියයට 75 ක් නැවත ලබා දුන් බවට ආණ්ඩුව ගෙනහැර දක්වන සංඛ්‍යා ලේඛන එහිදී සැලකිල්ලට ගෙන තිබුනි.

තවමත් විසඳී නැති ගැටළු සම්බන්ධයෙන් මහ කොමසාරිස්වරිය විසින් යෝජනා කර ඇත්තේ ආරක්ෂක කටයුතු සඳහා හමුදාවට අවශ්‍ය භූමිය වෙන්කොට, මුල් අයිතිකරුවන්ට ඉඩම් හෝ වන්දි හෝ ලබාදීම තීරණය කිරීම සඳහා ස්වාධීන යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමයි.

එම ඉල්ලීම අලුත් ජිනීවා යෝජනාවට අඩංගු කර නැත.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් මැදිහත් වීම සඳහා තිලක් මාරපනගේ නායකත්වයෙන් ජිනීවා යන සර්ව පාක්ෂික නියෝජිත මණ්ඩලයට විපක්ෂ මන්ත්‍රී ආචාර්ය සරත් අමුණුගම, උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන්, විදේශ කටයුතු අමාත්‍යංශ ලේකම් රවිනාථ ආර්යසිංහ හා නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරීන් පිල්ලේ ඇතුලත් වෙති.

ජිනීවාහි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත ඒ.එල්.ඒ. අසීස් සහ නියෝජ්‍ය නිත්‍ය නියෝජිත සමන්තා ජයසූරිය ද ඊට එක්වන බව විදේශ අමාත්‍යාංශය දැනුම් දී තිබේ.