“බෙලි කැපීම” සන් කළ බ්‍රිගේඩියර් ට විරුද්ධ නඩුව නැවතත් ඇසීමට තීන්දුයි

Report
77Shares

දෙමළ විරෝධතාකරුවන් පිරිසකට මරණීය තර්ජන එල්ල කිරීමේ චෝදනා නැගී ඇති බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ හිටපු ආරක්ෂක උපදේශකයාට එරෙහි නඩුව නැවත විභාග කිරීමට ලන්ඩනයේ අධිකරණයක් තීරණය කර තිබේ.

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු වරදකරු කරමින් මීට ඉහත දුන් තීන්දුව අවලංගු කරමින් වෙස්ට්මින්ස්ටර් ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය ප්‍රකාශ කළේ අධිකරණ නිලධාරීන් අතින් කාර්ය පටිපාටිමය අත්වැරදි සිදුවූ හෙයින් නැවත නඩු විභාගයක් පවත්වන බව යි.

ශ්‍රී ලංකාවේ 70 වැනි නිදහස් සමරුව දා විරෝධතා පැවැත්වූ උද්ඝෝෂකයන් දෙසට හැරී බෙල්ල කපන ආකාරය දැක්වීමෙන් බ්‍රිගේඩියර් වරයා මරණ තර්ජනයක් කිරීම සම්බන්ධයෙන් ඔහු වරදකරු බවට උසාවිය විසින් ජනවාරියේදී තීන්දු කරන ලදී.

උසාවි නෑවිත් සිටි ඔහු වෙනුවෙන් පෙනී සිටින නික් වේන් බැරිස්ටර්වරයා අධිකරණයට කියා සිටියේ නඩු විභාගයට පෙර උසාවියට යවන ලද ලියකියවිලි අධිකරණ කාර්ය මණ්ඩලය විසින් නොතකා හැර ඇති බවයි.

එම පැමිණිල්ල බාර ගනිමින් නඩුව මැයි 7 දා නැවත විභාග කිරීමට නියම කළ එමා ආර්බත්නොට් මහේස්ත්‍රාත්වරිය, පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ට තිබෙන තර්ජනය පිළිබඳ අවදානම සැලකිල්ලට ගෙන ඔවුන්ට එදින තිරයක් පිටුපස මුවාවී හිඳ සාක්ෂි දීමට අවසර ලබා දුන්නාය.

සාක්ෂිකරුවන්ගේ පින්තූර ගැනීම

අධිකරණ ශාලාව තුලදී සාක්ෂිකරුවන්ගේ ඡායාරූප ගත් බවට පැමිණිල්ලේ නීතිඥ වරයා විසින් චෝදනා කෙරුනු ශ්‍රී ලාංකිකයකු ට මහේස්ත්‍රාත්වරිය විසින් දැඩි ලෙස අවවාද කරන ලදී.

“මහජන ගැලරියේ ඉන්නා එක මහත්මයකු විවේක වෙලාවේදී පුද්ගලයන්ගේ පින්තූර ගන්න එක නවත්තන්න ආරක්ෂක නිලධාරීන්ට සිද්ධ වුනා,” යි රාජනීතිඥ පීටර් කාටර් මහේස්ත්‍රාත්වරියට දැනුම් දුන්නාය.

අධිකරණයේ කවුළුවක් අසලට ගොස් ඡායාරූප ගනිමින් සිටි අමල් අබේවර්ධන ආරක්ෂක නිලධාරීන් විසින් ඔහු නවතාලන ආකාරය විවේක වෙලාවේදී දැකගත හැකි විය.

“මේ පුද්ගලයාම සාක්ෂිකරුවන්ගේ පින්තූර ගන්න ආකාරය දැක්වෙන ඡායාරූප මට පෙන්නලා තියෙනවා. මේ පුද්ගලයා ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයට සම්බන්ධ බවට විශ්වාස කරන්න හේතු කාරනා තියෙනවා,” යි රාජ නීතිඥ කාටර් කියා සිටියේය.

එම චර්යාව “ඉතා කනගාටුදායක” බව කී එමා ආර්බත්නොට් මහේස්ත්‍රාත්වරිය, සාක්ෂිකරුවන්ගේ ඡායාරූප ගැනීම හෝ වීඩියෝ ගත කිරීම සාපරාධී කටයුත්තක් බව සිහිපත් කර දුන්නාය.

ශ්‍රී ලංකාවේ යුද්ධයේදී මියගිය සංඛ්‍යාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන් දක්වන සංඛ්‍යාලේඛන ප්‍රතික්ෂේප කරන බ්‍රිතාන්‍යයේ නේස්බි සාමිවරයා සමග අමල් අබේවර්ධන නඩු විභාගයෙන් පසු එක්ව පිටව යනු දැකගන්නට ලැබිනි.

යුද අපරාධ සිදු වූ බව ප්‍රතික්ෂේප කරන්නේ දැයි මාධ්‍යවේදියකු නේස්බි සාමිවරයාගෙන් විමසු අවස්ථාවේ ඔහු කෝපයෙන් බැන වදිනු වීඩියෝ ගතවී තිබේ.

උසාවි ගොඩනැගිල්ලෙන් පිටත උද්ඝෝෂණයේ යෙදී සිටි විරෝධතාකරුවන් අත තහනම් එල්ටීටීඊ කොඩි තිබෙන බවට ලැබුනු පැමිණිල්ලක් අනුව විමර්ශනයට පැමිණි පොලිස් නිලධාරීන්ට එය දෙමළ ජාතික කොඩිය යැයි කරුනු දැක්වීමෙන් අනතුරුව හැරී යනු දැකගන්නට ලැබුනි.

සංවිධායකයන් පොලිස් නිලධාරීන්ට වැඩිදුරටත් කියා සිටියේ බොරු පැමිණිලි දමා බියවැද්දීමෙන් සාමකාමී විරෝධතා මර්දනය කිරීමේ උත්සාහයක් පවතින බවයි.

ඊළඟ නඩු දිනයට බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු සහභාගි වන්නේදැයි පැහැදිලි නැත.

වෙස්ට්මින්ස්ටර් අධිකරණ පරිශ්‍රයට එක්වූ විරෝධතා කරුවන් නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් ප්‍රහාරයෙන් මියගියවුන් සිහිපත්කොට මොහොතක නිහැඬියාවක ආචාරය පුද කළ බව ගගන වාර්තාකරු පවසයි.