ගෝඨාභයට ඇමරිකානු පුරවැසිභාවය අත්හරින්න නඩු පැවරීම බාධාවක් වෙන්නෙ නෑ

Report
1Shares

මේ දිනවල ඇමරිකාවේ සංචාරයක නිරතව සිටින හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව එරට අධිකරණයක නඩු පවරා තිබුණද එමගින් ඒ මහතාගේ ඇමරිකානු පුරවැසිභාවය අත්හැරීමේ කටයුතුවලට කිසිදු බාධාවක් එල්ල නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසීය.

ඊයේ(09) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

එසේම මේ දක්වා එම අධිකරණ කටයුතු පිළිබදව දන්වමින් ගෝඨාභය රාජපක්ෂ මහතාට ඇමරිකානු අධිකරණයකින් කිසිදු ලිඛිත නෛතික දැනුම්දීමක් කර නැති බවද හෙතෙම අවධාරණය කළේය.

එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම සහ ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ යන මහත්වරුද එම මාධ්‍ය හමුවට එක්ව සිටියහ.