“ඇමරිකාවේ නඩු දාන්න ගෝටා ඇමරිකන් කාරයෙක් වෙන්න ඕනේ නෑ” නඩු පැවරූ නීතිඥ

Report
76Shares

වධහිංසා පැමිණවීම පිළිබඳ චෝදනා සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ හිටපු ආරක්ෂක ලේකම් වරයාට එරෙහිව එක්සත් ජනපදයේ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ඔහු එරට පුරවැසියකු වීම අවශ්‍ය නැති බව නඩුව ගොනු කළ නීතිඥ වරයා පවසයි.

ගෝඨාභය රාජපක්ෂ අතට බාර දෙන ලද නොතීසිය සම්බන්ධයෙන් ඔහු විසින් සති තුනක් ඇතුලත වගඋත්තර බැඳිය යුතු බව ජ්‍යෙෂ්ඨ මානව හිමිකම් නීතිඥ ස්කොට් ගිල්මෝර් පවසයි.

ඔහු කැනඩා වාසී දෙමළ රෝයි සමාදානම් වෙනුවෙන් සත්‍යය හා යුක්තිය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතිය (ITJP) සමග එක්ව කැලිෆෝනියා දිස්ත්‍රික්කයේ එක්සත් ජනපද දිසා අධිකරණයේ නඩුවක් ගොනුකළ හවුස්ෆෙල්ඩ් ජාත්‍යන්තර නීති සමාගමේ නීතිඥ වරයාය.

සන්ඩේ ලීඩර් පුරෝගාමී කතුවර ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනයේ වගකීම සම්බන්ධයෙන් ඔහුගේ දියණිය අහිංසා වික්‍රමතුංග වෙනුවෙන් විසින් පවරන ලද වෙනම නඩුවක නොතීසි ද ඉකුත් ඉරිදා ගෝඨාභය රාජපක්ෂ වෙත භාර දී තිබුනි.

නඩුව පවරා තිබුනේ මානව යුද අපරාධකරුවන් ට එරෙහිව රටවල් ගණනාවක නඩු පවරා ඇති සැන් ෆ්‍රැන්සිස්කෝ නුවර පදනම් කරගත යුක්තිය හා වගවීම සඳහා වන මධ්‍යස්ථානය (CJA) විසිනි.

හිටපු යුද හමුදාපති ජගත් ජයසූරියට එරෙහිව යුද අපරාධ චෝදනා නගා සත්‍යය හා යුක්තිය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතිය (ITJP) හා එක්ව ලතින් ඇමරිකාවේ නඩු පැවරූ ආචාර්ය කාර්ලොස් කස්ත්‍රසානා ෆෙර්නන්දෙස් CJA ජාත්‍යන්තර මණ්ඩලයේ උපදේශකයෙකි.

පිටරටක මුල්ම නඩුව

මේ ගෝඨාභය රාජපක්ෂට එරෙහිව විදේශයක පවරන ලද මුල්ම සිවිල් නඩු සේ සැලකෙන බව හවුස්ෆෙල්ඩ් ජාත්‍යන්තර නීතිඥ ආයතනය හා එක්ව රෝයි සමාදානම් වෙනුවෙන් නඩු පැවරූ සත්‍යය හා යුක්තිය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතියේ (ITJP) විධායක අධ්‍යක්ෂිකා යැස්මින් සූකා ලන්ඩනයේදී මාධ්‍යවේදීන් අමතා පැවසුවාය.

හවුස්ෆෙල්ඩ් ආයතනයේ ජ්‍යෙෂ්ඨ මානව හිමිකම් නීතිඥ ස්කොට් ගිල්මෝර් පවසන පරිදි ශ්‍රී ලංකාවේදී කරන ලද බවට චෝදනා නැගෙන අපරාධයක් සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් වරයාට එරෙහිව එක්සත් ජනපදයේ නඩු පැවරීමට චූදිතයා එරට පුරවැසියකු විය යුතු නැත.

ගෝඨාභය රාජපක්ෂට නඩු පවරා ඇත්තේ විදේශයක වුව වධබන්ධනයට ගොදුරු වූවන්ට එක්සත් ජනපද භූමියේදී නෛතික සහන සැලසීම සඳහා නීතිගත කර ඇති වධවින්දිතයන් ආරක්ෂා කිරීමේ පනත (Torture Victim Protection Act) යටතේ බව ITJP සහ හවුස්ෆෙල්ඩ් ආයතනය පවසයි.

“වැදගත් වුනේ ඔහු එක්සත් ජනපදය තුල සිටීම මිස එක්සත් ජනපද පුරවැසියකු වීම නොවේ,” යි නීතිඥ ස්කොට් ගිල්මෝර් මධ්‍යම ලන්ඩනයේ හවුස්ෆෙල්ඩ් නීතිඥ සමාගම් කාර්යාලයේදී ගගනට විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.

“ඔහු ශාරීරික වශයෙන්ම එක්සත් ජනපදයේ සිටි නිසා අදාළ ලියකියවිලි ඔහු අතටම භාර දෙන්න අපට හැකියාව ලැබුනා. නීතිය ක්‍රියාත්මක වෙන්නේ ඒ ආකාරයටයි.”

තමන් යටතේ වූ ආරක්ෂක සේනා විසින් සිදුකරන ලද කෙලෙසීම් සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම්වරයා ජාත්‍යන්තර නීතිය අනුව විධාන වගකීමෙන් බැඳෙන බව ස්කොට් ගිල්මෝර් කියා සිටියේය.

නඩු දැමූ බව ජී ඇල් පිළිගනී

ගෝඨාභය රාජපක්ෂ ට එරෙහිව පවරන ලද නඩු වල නොතීසි ඔහු අතට බාර දෙන ලද බව දකුණු කැලිෆෝනියාවේ ප්‍රීමියර් ගෘප් ඉන්ටර්නැෂනල් රහස් පරීක්ෂක සහ ආරක්ෂක කටයුතු සමාගමක් විසින් තහවුරු කොට තිබේ.

හිටපු ආරක්ෂක ලේකම්වරයා අතට ලියුම් කවරයක් සේ දිස්වන යමක් කාන්තාවක් විසින් දෙනු දැක්වෙන ඡායාරූපයක් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ පල කරමින් ඔවුන් කියා තිබුනේ අයිඩියල් ඉන්වෙස්ටිගේෂන් සමාගම හා එක්වී ගෝඨාභය රාජපක්ෂ පිළිබඳ සෝදිසියෙන් හිඳ ලියකියවිලි බාර දුන් බවයි.

ගෝඨාභය රාජපක්ෂට නඩු පවරා ඇති බව ඔහු ජනාධිපති තරගයට දැමීමට සැරසෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක ජී ඇල් පීරිස් පිළිගෙන තිබුනි.

නීතිවේදී මහාචාර්යවරයා එම පියවර හැඳින්වූයේ ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව විසින් මෙහෙයවන ලද්දක් ලෙසයි.

වධහිංසාවට වගකිව යුතු ඕනෑම අයකු පැමිණි අවස්ථාවක ඇමරිකා එක්සත් ජනපදය තුල මෙන්ම තවත් බොහෝ රටවලදීත් නඩු පැවරීමේ හැකියාවක් ඇති බව නීතිඥ ස්කොට් ගිල්මෝර් කියා සිටියේය.

වොෂින්ටනය මුලස්ථාන කොටගත් ජාත්‍යන්තර මානව හිමිකම් නීතිඥයෙක් වන ස්කොට් ගිල්මෝර් ලොව පුරා වධහිංසාවෙන් හා යුද අපරාධ වලින් පීඩාවට පත් වූවන් නියෝජනය කර ඇත්තෙකි.