ගෙවුණු පැය 24 තුල දිවයිනේ සිදු වූ අනතුරු වලින් පුද්ගලයින් 06 දෙනෙක් මියයයි

Report
1Shares
ගෙවුණු පැය 24 තුල දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදු වූ අනතුරු වලින් පුද්ගලයින් 06 දෙනෙකු මියගොස් තවත් 08 දෙනෙකු තුවාල ලබා තිබේ.
පොලීසිය සදහන් කළේ මෙම අනතුරු වලින් වැඩි සංඛ්‍යාවක් වේගය පාලනය කර ගැනීමට නොහැකිව සිදුව ඇති බවයි.
මැදවච්චිය-කැබිතිගොල්ලෑව මාර්ගයේ තම්මැන්නාව ප්‍රදේශයේදී මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටී ඊයේ(12) පසවරුවේ සිදු වූ අනතුරකින් කතුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්විය.
මෙම අනතුරින් තවත් කාන්තාවක් සහ ළමයින් දෙදෙනෙකු තුවාල ලබා මැදවච්චිය රෝහලට ඇතුළත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.
හලාවත-පුත්තලම ප්‍රධාන මාර්ගයේ ආරච්චිකට්ටුව ප්‍රදේශයේ අද(13) අලුයම සිදු වූ තවත් අනතුරකින් කාන්තාවක් මියගොස් තවත් 4 දෙනෙක් තුවාල ලබා හලාවත රෝහලට ඇතුළත් කර තිබේ.
කොළඹ-කුරුණෑගල මාර්ගයේ මිරිස්වත්ත ප්‍රදේශයේදී යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට ගොස් අසළ තිබූ ත්‍රීරෝද රථයක ගැටී ඊයේ(12) දින වූ අනතුරකින් යතුරුපැදිකරු ජීවිතක්ෂයට පත්ව තිබේ.
එසේම වේගය පාලනය කර ගත නොහැකිව වූ අනතුරකින් හලාවත-පුත්තලම මාර්ගයේ අයියනායක දේවාලය අසළ ඊයේ පස්වරුවේදී තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
මාතර-තංගල්ල ප්‍රධාන මාර්ගයේ දොඩම්පහළ ප්‍රදේශයේ සිදුවූ තවත් අනතුරකින් යතුරුපදිකරු මියගොස් පසුපැදිකරු තුවාල ලබා දික්වැල්ල රෝහලට ඇතුළත් කර තිබේ.