ජනපතිගෙන් සහ අගමැතිගෙන් අලුත් අවුරුද්දට සුබපැතුම්

Report
1Shares
වාර්ෂික සූර්ය සංක්‍රාන්තියත් සමග එළඹෙන අලුත් අවුරුද්ද යනු මිනිසා පරිසරය හා සොබාදහම වන්දනය කිරීමේ උළෙලක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
අලුත් අවුරුද්ද නිමිත්තෙන් සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ බක් යනුවෙන් මේ මාසය හදුන්වනුයේ එය භාග්‍ය සම්පන්න කාලයක් වන බැවින් බවයි.
ගස්වැල්වල නව මල්ඵල හට ගැනෙන සොබාදහමේ සියලු ප්‍රකාශනයන්හි උද්දාම බවක් දක්නට ලැබෙන මෙම කාලසීමාව සතුටු උදාවක් බැවින් එය අලුත් අවුරුද්ද ලෙස හදුන්වන බව ජනාධිපතිවරයා පවසයි.
ජනාධිපතිවරයා නිකුත් කළ සුබපැතුම් පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් වන්නේ මෙතෙක් අප ලබා ඇති ජයග්‍රහණයන්හි ඵල භුක්ති විදිමින් ජාතික අපේක්ෂා සම්පුර්ණ කර ගැනීමට මේ අවුරුද්දේ එක් සිත්ව අධිෂ්ඨානයෙන් යුතුව පෙළගැසිය යුතු බවත් හා අළුත් අවුරුදු ප්‍රීතිය අත්විඳින මෙරට ආදරණීය ජනතාවට මෙන්ම, එතෙර දිවි ගෙවන ශ්‍රී ලාංකික ජනතාවට සෞභාග්‍යයෙන් යුත් සාමකාමී සුභ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරන බවයි.
එසේම එළඹෙන සිංහල,දෙමළ අලුත් අවුරුද්ද ජාති,ආගම් භේදයකින් තොරව ලක්වැසි සැමට තම ජීවිත අලුත් කර ගැනීමටත් ඒ හරහා සමාජය නව මං ගැන්වීමටත් ලැබෙන කදිම අවස්ථාවක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අලුත් අවුරුදු සුභාශිංසන පණිවිඩය නිකුත් කරමින් පවසයි.