රාජපක්ෂ හිතවාදී හිටපු හමුදා ප්‍රධානීහු දඬුවම් නොලබා බේරීමේ විශේෂ නීති ඉල්ලති | VIDEO

Report
7Shares

ආරක්ෂක නිලධාරීන්ට දඬුවමින් ගැලවී මුක්තිය ලබා ගැනීමට ඉඩ සලසන විශේෂ නීති සම්පාදනය කරන ලෙස හිටපු ආරක්ෂක ලේකම් ඇතුළු රාජපක්ෂ පාලන සමයේ ඉහල හමුදා නිලධාරීන් පිරිසක් ඉල්ලා සිටිති.

මානව හිමිකම් කෙලෙසන්නන් ආරක්ෂා කිරීමට යොදා ගැනීමේ අවදානමක් සහිත එම බියජනක යෝජනාව රැගත් වාර්තාවක් විපක්ෂ නායකයා සිය අනුමැතිය සහිතව ජනාධිපතිවරයාට බාර දී තිබේ.

විපක්ෂ නායකයා වෙනුවෙන් සකස් කොට ඇති එම වාර්තාව ඔත්තු සේවා සාමාජිකයන් ප්‍රමුඛ හමුදා නිලධාරීන් සිය සේවා කාලය තුල කරන කටයුතු වෙනුවෙන් දඬුවම් නොලබා සිටීම සඳහා දණ්ඩ මුක්තිය සහතික කෙරෙන අලුත් අනපනත් සම්මත කරගන්නා ලෙස නිර්දේශ කර ඇත.

එම නිර්දේශ ඉදිරිපත් කොට ඇත්තේ පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාර වලින් පසු රටේ ආරක්ෂක තත්වය සම්බන්ධයෙන් ගතයුතු පියවර යෝජනා කරන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් හිටපු ආරක්ෂක ලේකම් ඇතුළු රාජපක්ෂ පාලන සමයේ ආරක්ෂක නිලධාරීන් කණ්ඩායමකින් කරන ලද ඉල්ලීමක් පරිදිය.

“මේකේ විශේෂයෙන්ම අපි කියන්නේ හමුදා වලට ක්‍රියා කිරීමට ආරක්ෂක නීතියක් විශේෂයෙන්ම බුද්ධි සේවා වලට, පුද්ගලයන්ට සේවා මුක්තියක් අවශ්‍යයි,” යයි ගෝඨාභය රාජපක්ෂ විපක්ෂ නායක නිල නිවසේදී මාධ්‍යවේදීන් හා ප්‍රකාශ කළේය.

පසුගිය ආණ්ඩු පාලනය යටතේ කරන ලද බරපතල මානව හිමිකම් උල්ලංඝන පිළිබඳව ශ්‍රී ලංකාවේ මෙන්ම පිටරටද චෝදනා නැගී ඇතිවාක් මෙන්ම නඩු ද පවරන ලද හිටපු හමුදා ප්‍රධානීහු වාර්තාව සම්පාදනය කළ’වුන් අතර වෙති.

ඔවුන් යටතේ පවත්වාගෙන ගිය විශේෂ ඒකක විසින් මනුෂ්‍ය ඝාතන, පැහැරගැනීම්, අතුරුදහන් කිරීම් සහ ලිංගික වධබන්ධන ඇතුළු සාපරාධි ක්‍රියා පිළිබඳ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන බුද්ධි අංශ නිලධාරීන් කිහිපදෙනකුම දැනට පසුවන්නේ රිමාන්ඩ් භාරයේය.

අමාත්‍ය රාජිත සේනාරත්න විසින් හෙළිදරව් කර ඇති පරිදි 250 කට වැඩි පිරිසකට මරු කැඳවූ පාස්කු බෝම්බ මාලාව ගැන සැකකෙරෙන සන්නද්ධ කණ්ඩායම මුදල් ගෙවා නඩත්තු කොට ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ ගේ දැනුවත් කම යටතේ පවත්වාගෙන ගිය විශේෂ බුද්ධි ඒකකයක් විසිනි.

මුදල් ගෙවීම සම්බන්ධ තොරතුරු වල සත්‍යතාව ගැන සක පහල කළ හිටපු ගුවන් හමුදා ප්‍රධානී එයාර් මාෂල් රොෂාන් ගුණතිලක මාධ්‍යවේදීන්ට කියා සිටියේ “බුද්ධි අංශ බුද්ධි තොරතුරු ලබාගන්න යම් යම් අයගෙන් උදව් උපකාර ගන්න,” බවයි.

කෙසේ වෙතත්, ඔත්තු සැපයීම වෙනුවෙන් සල්ලි ගෙවන බව පොලිසිය තහවුරු කර තිබේ.

"නැගෙනහිර පළාතේ ත්‍රස්තවාදීන් සම්බන්ධයෙන්" තොරතුරු ලබා දුන් මුස්ලිම්වරුන් තිදෙනකුට රුපියල් දසලක්ෂය බැගින් ගෙවන ලද බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර පොලිස් අධිකාරිවරයා පවසා ඇත.

පසුගිය පාලන සමයේ කොළඹ සහ ඒ අවටින් එකොලොස් දෙනකු පැහැරගෙන ගොස් වධ දී අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලබන නාවික නිලධාරීන් අතරින් අයකු වන හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ ද විපක්ෂ නායකයාට ආරක්ෂක නිර්දේශ ලබා දුන් කණ්ඩායමේ අයෙකි.

ඔහුට පසු කලෙක නාවික හමුදාපති ධුරය දැරූ රියර් අද්මිරාල් ජයනාත් කොළඹගේ ද බුද්ධි අංශ නිලධාරීන් කරන කටයුතුවලට විශේෂ නීති ප්‍රතිපාදන මගින් රැකවරණයක් සලසා දීම අවධාරණය කරයි.

ඔහු විසින් එම කටයුතු හඳුන්වා දෙනු ලැබුවේ “රාජකාරි” ලෙසිනි.

“ඒගොල්ලන්ගේ රාජකාරිය කිරීමේදී ඒ ගොල්ලන්ට මුක්තියක් නැත්නම්, ඒගොල්ලෝ ඒ රාජකාරිය කරන්න හරියට පෙළඹෙන්නේ නෑ,” යි හිටපු නාවික හමුදාපති ජයනාත් කොළඹගේ මාධ්‍යවේදීන් හා පැවසීය.

නිල රාජකාරි කිරීම සඳහා විශේෂ දණ්ඩ මුක්තියක් අවශ්‍ය වන්නේ ඇයිදැයි ඔහු පැහැදිලි කළේ නැත.

කැරලි මර්දනයේ දී මානව හිමිකම් උල්ලංඝනය කළ ආරක්ෂක නිලධාරීන් නීතියෙන් ගලවා ගැනීම සඳහා විශේෂයෙන් සකස් කළ දණ්ඩ මුක්ති නීති ශ්‍රී ලංකාවේ ආණ්ඩු දෙ වතාවක් ම නීතිගත කර තිබේ.

විපක්ෂ ආධාරකරුවන් ට එරෙහි එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ ප්‍රචණ්ඩ ක්‍රියා මැඩ පැවැත්වීමට ක්‍රියා නොකළ රාජ්‍ය නිලධාරීන් ගලවා ගැනීම සඳහා 1982 අංක 20 දරණ වගකීමෙන් නිදහස් කිරීමේ පනත හා 1987 ජවිපෙ කැරැල්ල මර්දනය කිරීමේදී කළ අපරාධ වලින් හමුදාව නිදහස් කිරීමට 1988 අංක 60 දරණ වගකීමෙන් නිදහස් කිරීමේ පනත සම්මත කර ගැනීම ඒ අවස්ථා දෙකයි.

නඩු නැති ඝාතන ඇතුළු ගොරතර මානව හිමිකම් උල්ලංඝන වසං කිරීමට තුඩු දුන් මේ පනත් දෙකම දේශීය හා විදේශීය මානව හිමිකම් ක්ෂේත්‍රයේ බරපතල දෝෂ දර්ශනයට ලක්වූ ඒවාය.

ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ සාමාජිකයන් රාජකාරි කාලය තුල මානව හිමිකම් උල්ලංඝනය කර දඬුවම් නොලබා මුක්තියක් භුක්ති විඳීමේ සංස්කෘතිය අවසන් කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු දේශීය හා ජාත්‍යන්තර සංවිධාන රජයෙන් දිගින් දිගටම ඉල්ලා තිබේ.