ශ්‍රී ලංකාවේ පොලිසියට දෙන බ්‍රිතාන්‍ය ආධාර අවහිර කෙරෙන යෝජනා එක්සත් ජාතීන් හමුවට

Report
3Shares

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ශ්‍රී ලංකාවේ පොලිස් ආයතනයකට වසර ගණනක සිට බ්‍රිතාන්‍යයෙන් ලැබෙන ආධාර වැළකී යාමේ අවදානම මතුවී තිබේ.

වධහිංසා පැමිණවීම ඇතුළු මානව හිමිකම් කඩකරන බවට චෝදනා ලබන ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදී විමර්ශන ඒකකය (TID) ඇතුළු විදේශගත ආයතන වලට තාක්ෂණික ආධාර හා පුහුණුව දීම වැළකෙන දැඩි සුපරීක්ෂණයක් අනුගමනය කරන ලෙස සිවිල් සමාජ සංවිධාන සහ විශේෂඥයන් අසුවකට වැඩි ප්‍රමාණයක් විසින් එක්සත් ජාතීන් වෙත ලබා දුන් වාර්තාවක් එක්සත් ජාතීන්ට නිර්දේශ කර ඇත.

බ්‍රිතාන්‍ය රජය වධබන්ධනයට වලක්වාලීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රජාව හමුවේ දී ඇති පොරොන්දු කඩකොට ඇති බව පිටු 104 කින් සමන්විත එම වාර්තාව නිගමනය කර තිබේ.

වධබන්ධනයට ගොදුරු වූවන්ට යුක්තිය ඉටු කරවා දීම සම්බන්ධයෙන් මැදිහත් වන ලන්ඩනය මුලස්ථාන කොටගත් රිඩ්රෙස් (REDRESS) පදනමේ මෙහෙයැවීමෙන් වාර්තාව ලබා දී ඇත්තේ බ්‍රිතාන්‍ය මානව හිමිකම් චර්යාව පරීක්ෂාවට ලක් කරන වධහිංසාවට එරෙහි එක්සත් ජාතීන්ගේ කමිටුව (UNCAT) වෙතය.

වධහිංසා පැමිණවීම සහ වෙනත් කුරිරු, අමානුෂික හෝ අවමන් සහගත සැලකීම්වලට ලක් කිරීමේ හෝ දඩුවම්වලට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුතිය ක්‍රියාත්මක කිරීමේදී බ්‍රිතාන්‍ය ලබා ඇති ප්‍රගතිය දෙදිනක් තිස්සේ විභාග කිරීම එක්සත් ජාතීන්ගේ කමිටුව විසින් මැයි 7 වැනිදා ජිනීවා නුවරදී ආරම්භ කරන ලදී.

වධබන්ධනයට විරුද්ධවීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය රජය ජාත්‍යන්තර ප්‍රජාව හමුවේ දී ඇති පොරොන්දු කඩකොට ඇති බව REDRESS වාර්තාව නිගමනය කර තිබේ.

ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදී විමර්ශන ඒකකයේ (TID) ඉහළ පොලිස් නිලධාරීන් කිහිප දෙනකුට බ්‍රිතාන්‍ය රජය විසින් පුහුණුව ලබා දීම සම්බන්ධයෙන් ද වාර්තාව එක්සත් ජාතීන්ගේ අවධානය යොමු කර ඇත.

“ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදී විමර්ශන පොලිස් ඒකකය විසින් වධහිංසා පමුණුවනු ලැබීම, එක්සත් ජාතීන් හමුවේත්, මානව හිමිකම් සංවිධාන ගණනාවක වාර්තාවලත් ලේඛනගත වී තිබේ. එක්සත් රාජධානියේ ඉල්ලු දේශපාලන රැකවරණ ලබාගත් බොහෝ ශ්‍රී ලාංකික දෙමළ අය TID ගොදුරු බවට පත්වූවන්ය. වධහිංසා කිරීම සම්බන්ධයෙන් වගකිව යුතු බවට චෝදනා ලබන ඒකක බාරව සිටි ශ්‍රී ලාංකික පොලිස් නිලධාරීන් තුන්දෙනකුවත් බ්‍රිතාන්‍යය විසින් මීට ඉහතදී පුහුණු කොට ඇති බව වාර්තාවී තිබේ.”

බ්‍රිතාන්‍යය TID නිලධාරීන් පුහුණු කිරීම අරඹා ඇත්තේ 2011 දීය. විදේශීය ආයතනවලට පුහුණුව ලබා දීමේ දී අනුගමනය කළ යුතු රජය පිළිගත් නිර්ණායක පිළිපදිමින් බ්‍රිතාන්‍යය එම කටයුතු පාරදෘශ්‍ය ආකාරයෙන් සිදු කර නැති බවට සිවිල් සංවිධාන වාර්තාව චෝදනා කරයි.

බහරේනයේ නීතිය හා සාමය පිළිබඳ ආයතන වලටත්, ශ්‍රී ලංකාවටත් ලබා දෙන ආධාර සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමේ නිදහස යටතේ කරන ලද ඉල්ලීම් වලට බ්‍රිතාන්‍ය රජය ඉඩ ලබා දී නැති බව ඊට උදාහරණ ලෙසින් දක්වා තිබේ.

එමනිසා, වධහිංසාව සම්බන්ධයෙන් චෝදනා ලබන විදේශීය ආයතනවලට ලබා දෙන බ්‍රිතාන්‍යය ආධාර සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පැවැත්විය යුතු බව එක්සත් ජාතීන්ට ලබාදුන් REDRESS වාර්තාව නිර්දේශ කර සිටී.

“විදේශීය ආණ්ඩු සහ ආයතන වලට තාක්ෂණික සහාය සහ පුහුණුව ලබාදීමේදී බ්‍රිතාන්‍යය සිය ජාත්‍යන්තර මානව හිමිකම් වගකීම් සපුරා ලන බවට සහතික විය යුතුය. මානව හිමිකම් පිළිබඳ එවැනි ඇගැයීම් ප්‍රසිද්ධියට පත් කළ යුතු අතර චූදිත වධකයන් පුහුණු කිරීම වැලක්වීමට දැඩි පුර්ව සෝදිසි විධික්‍රම යෙදවිය යුතුය. වධබන්ධන සම්බන්ධ චෝදනා රැගත් වාර්තා වලට එයාකාර ආධාර සහ පුහුණු කිරීම් වල ඇති බලපෑම සම්බන්ධ ස්වාධීන විගණනයක් සිදුකළ යුතුය.”

බ්‍රිතාන්‍ය අධිකරණ අමාත්‍යංශයේ ජාත්‍යන්තර කටයුතු සහ අයිතිවාසිකම් පිළිබඳ අධ්‍යක්ෂ පෝල් කැන්ඩ්ලර් ගේ ප්‍රධානත්වයෙන් යුත් නියෝජිත මණ්ඩලයක් වධහිංසාවට එරෙහි ජගත් කමිටුව හමුවට ජිනීවා නුවරට ගොස් සිටී.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආරක්ෂක ආයතන විසින් සිදුකරනු ලබන වධබන්ධන සම්බන්ධයෙන් දිගින් දිගටම චෝදනා නගා ඇති වධහිංසාවෙන් නිදහස (Freedom from Torture) ද, සත්‍යය සහ යුක්තිය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතිය (ITJP) ද REDRESS වාර්තාවට දායක වී ඇත.

වර්තමාන ජාතික බුද්ධි සේවා ප්‍රධානී සිසිර මෙන්ඩිස්‌ 2008 මාර්තු මාසයේ සිට 2009 ජුනි දක්වා පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) හා ත්‍ර‍ස්ත විමර්ශන ඒකකය (TID) භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස රාජකාරි කරද්දී පුද්ගලයන් රඳවාගෙන වධබන්ධන පැමිණවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන් විසින් අවුරුද්දකට වැඩි කාලයකට ඉහතදී නගන ලද ප්‍රශ්න වලට ශ්‍රී ලංකාවේ ආණ්ඩුව අද වන තුරු පිළිතුරු දී නැත.