ජාතික බුද්ධි අංශයට අපහාස කරන්න එපා: රාජපක්ෂවාදීන්ට අවවාදයක්

Report
4Shares

සාපරාධී ක්‍රියා සම්බන්ධයෙන් චෝදනා ලබන ඔත්තු සේවා නිලධාරීන් කිහිප දෙනකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට යාමෙන් ජාතික බුද්ධි අංශය අඩපන වී ඇති බව පැවසීමෙන් අපහාසයක් සිදුකරන බවට රාජපක්ෂ පිළේ ඉහලම නායකත්වය චෝදනාවට ලක්ව සිටී.

අතුරුදහන් කරනු ලැබූ සිය මාධ්‍යවේදී සැමියා සොයාගැනීම වෙනුවෙන් යෙදෙන අනවරත අරගලයට උපහාර වශයෙන් ජගත් සම්මානයකින් පුදලද සන්ධ්‍යා එක්නැලිගොඩ පවසන්නේ අපරාධකාරී හමුදා නිලධාරීන් ගලවා ගැනීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ අනාගත ජනාධිපති අපේක්ෂක අපේක්ෂිත ගෝඨාභය රාජපක්ෂ වීරිය දරන බවයි.

දොළොස් දහසක් පමණ වන බුද්ධි නිලධාරීන් අතරින් අපරාධකාරී හමුදා නිලධාරීන් ලෙස දැනට නීතියේ රැහැනට හසුව ඇත්තේ 25 ක් පමණ වන ඉතා සුළු කණ්ඩායමක් බව පෙන්වා දෙන ප්‍රගීත් එක්නැලිගොඩ බිරිඳ, ඒ අතරින් බොහෝ දෙනකු ඇප ලබා නිදහස්ව සිටින අතර වැඩි දෙනකු නැවත සේවයේ යොදවා ඇති බවත් සිහිපත් කර දුන්නාය.

“මේ අපරාධකාරයන් නිදහස් කරගැනීමට, අධිකරණ යාන්ත්‍රණයෙන් මුදවාගැනීමට උත්සාහ කරන මහින්ද රාජපක්ෂට හා ගෝඨාභය රාජපක්ෂට මං කියනවා, මේ ජාතික බුද්ධි අංශයේ රාජකාරි ලඝු කොට සලකන්න එපා. ඒ අයට මේ විදියට අපහාස කරන්න එපා කියලා,” යි සන්ධ්‍යා එක්නැලිගොඩ කොළඹදී මාධ්‍යවේදීන් හා ප්‍රකාශ කළාය.

බුද්ධි අංශ 'රාජකාරිය'

බරපතල ලෙස මානව හිම්කම් කඩ කළ බවට චෝදනා ලබන හිටපු හමුදා ප්‍රධානීන් හා එක්ව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ අනාගත ජනාධිපති අපේක්ෂක අපේක්ෂිත ගෝඨාභය රාජපක්ෂ වර්තමාන ජනාධිපති වරයාට බාරදුන් වාර්තාවකින් යෝජනා කර තිබුනේ අපරාධ චෝදනා ලබන ආරක්ෂක අංශ සාමාජිකයන්ට සිය රාජකාරිය සිත්සේ කරගෙන යාම සඳහා දණ්ඩ මුක්තිය නීතිගත කරන ලෙසයි.

“මාධ්‍යවේදීන් හෝ නිරායුද මිනිසුන් පැහැරගෙන ගිහිල්ලා ඒ අය අතුරුදහන් කරන්න හරි, ඒ අයගේ අතපය කඩලා දාන්න හරි, ඒ අය බය වද්දන එක නෙවෙයි හමුදා බුද්ධි අංශයේ රාජකාරිය,” යි සන්ධ්‍යා එක්නැලිගොඩ අවධාරණය කළාය.

පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාර මාලාව වලක්වා ගත නොහැකි වූයේ බුද්ධි නිලධාරීන් සිරගත කිරීම නිසා ඔත්තු සේවය අඩපන වීමෙන් බව රාජපක්ෂවාදීන් තර්ක කරද්දී බුද්ධි තොරතුරු සම්බන්ධීකරණයේ අතපසුවීමක් සිදුවී ඇති බව අගමැතිවරයා පිළිගෙන තිබුනි.

රහස් ඔත්තු සේවා මෙන්ම දේශපාලන අධිකාරිය ඇතුළු ජාතික ආරක්ෂාව බාර සැමදෙනා සිදුවූ විනාශය සම්බන්ධයෙන් වගකීම බාරගත යුතු බව හමුදාපතිවරයාගේ පිළිගැනීමයි.