කොච්චිකඩේ පල්ලියේ දොරටු නැවත ඇරේ

Report
2Shares

සිය ගණනකට මරු කැඳවමින් පුපුරවනු ලැබු පාස්කු ඉරුදින බෝම්බයෙන් මහත් විනාශයට පත් කොටහේනේ ශාන්ත අන්තෝනි දේවස්ථානය ප්‍රහාරයෙන් පසු පළමු වතාවට විවෘත කොට තිබේ.

හාස්කම් සහිත පුදබිමක් ලෙසින් කිතුනුවන් මතු නොව අන්‍යාගමිකයන්ගේද ගරු බුහුමන් ලද දේවස්ථානය 175 වසරක ඉතිහාසයක් පුරා විවර කර තිබු සිය දොරටු මුල් වරට වසා දැමුවේ බෝම්බ ප්‍රහාරයෙන් අනතුරුවය.

එයින් දෙසතියක් ඇවෑමෙන් කොච්චිකඩේ පල්ලියේ වැඳුම් පිදුම් කිරීමට බැතිමතුන්ට බලධාරීන්ගේ අවසර ලැබුනත්, ඒ සන්නද්ධ රැකවල් හා දැඩි සුපරීක්ෂාව යටතේය.

ශාන්ත අන්තෝනි මුනීන්ද්‍රයන්ගේ පිළිරුව අසලින්ම වන්දනාකරුවන්ට මුහුණ ලා ස්වයංක්‍රීය ගිනි අවි දරන භටයෙකි.

දේවස්ථානයෙන් පිටත යකඩ වැටවල් යොදා තිබූ අතර එතැන සිට කිලෝමීටර භාගයක් දුරින් වාහන නවතා තැබීමට නියම කර තිබුනු බව එහි ගිය ගගන වාර්තාකරු පවසයි.

පලංචි බැඳගෙන වැඩෙහි යෙදී සිටින කාර්මිකයන් පවසා ඇත්තේ මේ මස අගදී කොච්චිකඩේ පල්ලියේ ප්‍රතිසංස්කරණ කටයුතු නිම කිරීම තම අපේක්ෂාව බවයි.

ජන ජීවිතය සෙමෙන් සෙමෙන් යථා තත්වයට පත් වෙමින් තිබෙන නමුත් මාධ්‍ය හමුවේ අදහස් පල කිරීමට ප්‍රදේශවාසීන් මැළි කමක් දැක්වූ බවයි මේ සමග ඇති වීඩියෝ දර්ශන ලබාදුන් අපේ වාර්තාකරු වැඩිදුරටත් කියා සිටියේ.

පුරාවෘත්ත වල මෙන්ම මීසමේ වාර්තා වල ද කියැවෙන පරිද්දෙන් ශාන්ත අන්තෝනි දේවස්ථානය පිහිටුවන ලද්දේ දකුණු ඉන්දියාවේ කොචින් සිට පැමිණි අන්ටෝනියෝ පියතුමන් විසිනි.

ලන්දේසි පාලනය පැවති එසමයේ තහනම් කොට තිබූ කතෝලික දහම එතුමන් විසින් පුරුදු පුහුණු කොට ඇත්තේ රහසිගතවය.