පාස්කු ප්‍රහාර නොවැලැක්වුවේ “ජිනීවා බලපෑමෙන් ගැලවීමටයි” TNA මන්ත්‍රී | VIDEO

Report
2Shares

පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාර වැදීමේ අවදානම ගැන කල්තියා දැනගෙනත් එය වැලැක්වීමට පියවර නොගත්තේ යුද අපරාධ ගැන පරීක්ෂණ පැවැත්වීම සඳහා එක්සත් ජාතීන් ප්‍රමුඛ ජාත්‍යන්තර බලවේගවල පීඩාවෙන් නිදහස් වීමට යයි ජනාධිපතිවරයාට චෝදනා නැගී තිබේ.

පාර්ලිමේන්තුවේ විනාඩි 45 ක් පමණ දිගු කතාවක් පැවැත්වූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන එම විනාශය වැලැක්වීමට කටයුතු නොකිරීම ගැන කතා නොකළේ යුද පීඩිතයන්ට යුක්තිය ඉටු කිරීම සඳහා ජිනීවා මානව හිමිකම් සමුළුවේ දුන් පොරොන්දු ඉටු කිරීම සඳහා තිබෙන ජාත්‍යන්තර බලපෑමෙන් නිදහස් විය හැකි බවට ජනාධිපතිවරයා විශ්වාස කිරීම නිසා යයි දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී චාර්ල්ස් නිර්මලනාදන් පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශ කර සිටියේය.

“මෙම ප්‍රහාරයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ යෝජනා වලිනුත්, යුද අපරාධ පිලිබඳ පරීක්ෂණ සඳහා ජාත්‍යන්තර ප්‍රජාවගේ බලපෑම් වලිනුත් ශ්‍රී ලංකාවට ගැලවෙන්නට පුළුවන් කියන විශ්වාසයෙන් තමයි අතිගරු ජනාධිපති තුමා මෙම ප්‍රහාර නවත්වන්න පියවර ගත්තේ නැත්තේ.”

ජනාධිපතිවරයා මෙන්ම අගමැතිවරයාත් පවසන්නේ ප්‍රහාර මාලාව පිළිබඳ තොරතුරු ලැබී තිබුනත් තමන් අතට ඒවා ලැබී නැති බවයි.

ප්‍රහාර සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපතිවරයා විසින් ත්‍රි පුද්ගල කමිටුවක් පත් කර තිබේ.

යුද පීඩිතයන්ට යුක්තිය සලසා ජාතීන් අතර සංහිඳියාව ඇතිකිරීමට හතර අවුරුද්දකට ඉහතදී එක්සත් ජාතීන් හමුවේ දුන් පොරොන්දු ඉටු කිරීමට ශ්‍රී ලංකාවේ ආණ්ඩුව පසුගිය මාර්තුවේ තවත් දෑවුරුද්දක් කල් ඉල්ලා ගත්තේය.