ඇඳිරි නීතිය දැමු පසුත් මුස්ලිම් විරෝධී ප්‍රහාර පැතිරේ | VIDEO

Report
10Shares


හෙට්ටිපොල 13 සඳුදා උදෑසන

රට පුරා පොලිසිය විසින් ඇඳිරි නීතිය පැනවීමෙන් පසුත් මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩතා පැතිරී යන බවට වාර්තා ලැබෙමින් පවතී.

මැයි13 සඳුදා සවස 5 සිට ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම් දෙන තුරු වයඹ පලාතට පොලිස් ඇඳිරි නීතියපනවනු ලැබුවත් මුස්ලිම් කඩ සාප්පු දේවස්ථාන වලට කල්ලි ගැසී පිරිස් පහර දුන් බව ප්‍රදේශවාසීහු පවසති. එයින් අනතුරුව රාත්‍රී 9 සිට සමස්ත දිවයිනටම බලපාන ලෙසින් ඇඳිරි නීතිය දීර්ඝ කර තිබේ.

කොටහේන ප්‍රදේශයේ සන්නද්ධ හමුදා භටපිරිස් සහ යුද වාහන යොදවා වාහන පරීක්ෂාවට ලක් කරනු දැකගන්නට ලැබුනු බව අපේ වාර්තාකරුවෝ පවසති.

පොලිසිය හා යුද හමුදා නිලධාරීන් බලා සිටියදී නාත්තන්ඩියේ ප්‍රහාර මෙහෙයවූවන් අතර විපක්ෂයේ ප්‍රාදේශීය දේශපාලකයකුගේ ආධරකරුවන් සහ භික්ෂුන් ද දක්නට ලැබුනු බව නම සඳහන් නොකරන ලෙස ඉල්ලා සිටි ප්‍රාදේශීය මාධ්‍යවේදියකු ගගන හා පැවසීය.

නාත්තන්ඩියේ තුම්මෝදර දේවස්ථානය දිසාවෙන් වෙඩි හඬ ඇසුනු බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

මුස්ලිම් දේවස්ථානයකට පහර දුන් බව දැක්වෙන වීඩියෝ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සංසරණය වනු දැකගන්නට ලැබුනි.

සඳුදා දහවල් හෙට්ටිපොල ප්‍රදේශයේ මුස්ලිම් දේපලට පහර දෙනු ලැබීමෙන් අනතුරුව අඟහරුවාදා පෙරවරු 4 දක්වා කුලියාපිටිය, හෙට්ටිපොල, බිංගිරිය, දුම්මලසුරිය, රස්නායකපුර හාකොබෙයිගනේ ප්‍රදේශ වලට ඇඳිරි නීතිය පනවනු ලැබුනි.

එයින් අනතුරුවත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ප්‍රචණ්ඩ ක්‍රියා පැතිරුනු අතර වයඹ පළාතටම ඇඳිරි නීතිය පනවන ලද බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකරනිවේදනය කළේය.

ගල්මුල් වලින් පහරදීමෙන් දේපල වලට හානි සිදු වුවත් පුද්ගල හානි සිදුවී නැති බව ඔහුවැඩි දුරටත් ප්‍රකාශ කළේය.

එසේ තිබියදීත්,කුරුණෑගල සහ පුත්තලම් දිස්ත්‍රික්කයේ මුස්ලිම් විරෝධී ප්‍රහාර දියත් වන බව ප්‍රාදේශීය වාර්තාකරුවෝ පවසති.

ඉරිදා රාත්‍රියේ කුලියාපිටිය ආසනයේ සහ හලාවත සිදුකළ පහරදීම් වලින් මුස්ලිම් දේවස්ථාන පහක් සහ කඩ සාප්පු කිහිපයක් විනාශ වී ඇති බව මුස්ලිම් නියෝජිතයන් පිරිසක් සඳුදා පොලිස්පති චන්දන වික්‍රමරත්න හමුවී දැනුම් දී තිබේ.

මුස්ලිම් ධර්ම ග්‍රන්ථය වන කුරානයට අවමාන කර ඇති කලහකාරීන්ගේ ප්‍රහාර වලින් ඉහල කිනියම, යායවත්ත සහ පුහුල්වැල්ල මුස්ලිම් දේවස්ථාන පහකට හානි පමුණුවා ඇති බව එම නියෝජිත පිරිස එහිදීදැනුම් දී ඇත.

ඉරිදා රාත්‍රියේ හලාවත සිදුකළ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් සැකපිට තුන්දෙනකු අත්අඩංගුවට ගන්නා ලද බව පොලිසිය පවසයි.

එදිනම කුලියාපිටියේදී අත් අඩංගුවට ගනු ලැබු හතර දෙනකු ප්‍රදේශවාසින් ගේ බලහත්කාරය නිසා පොලිසියට නිදහස් කර යවන්නට සිදුවූ බව වාර්තාවේ.