ත‍්‍රස්තවාදය ශ‍්‍රී ලංකාවෙන් මුලිනුපුටා දමා ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට සහය දෙන බව චීන ජනපති පවසයි

Report
0Shares

ත‍්‍රස්තවාදය ශ‍්‍රී ලංකාවෙන් මුලිනුපුටා දමා ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට ශ‍්‍රී ලංකාවට ලබාදිය හැකි සෑම සහයක්ම ලබාදෙන බව චීන ජනාධිපති ෂි ජින්පින් මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත සඳහන් කර තිබේ.

චීනයේ එක් දින නිල සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ චීන ජනාධිපතිවරයා අතර නිල හමුව ඊයේ(14) පස්වරුවේ චීන ජනාධිපති මන්දිරයේ දී පැවැත්වුණු අතර එහිදී මේ බව අවධාරණය කෙරිණි.

එමෙන්ම ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව සඳහා රුපියල් කෝටි 150ක් වටිනා ජීප් රථ 100ක් ඇතුළු පහසුකම් වහාම ශ‍්‍රී ලංකාවට ලබාදීමට ද චීන ජනාධිපතිවරයා එකඟතාවය පළ කර තිබේ.

මේ අතර දෙරටේ ආරක්ෂක අංශවල සහයෝගීතාව වෙනුවෙන් නව අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම ද මෙම රාජ්‍ය නායක හමුවෙන් අනතුරුව සිදු විය.

එසේම අප්‍රේල් 21 වනදා ශ්‍රී ලංකාවේ සිදුවූ ම්ලේච්ඡ ත‍්‍රස්ත ප‍්‍රහාරය පිළිබඳ මෙහිදී සිය බලවත් අප‍්‍රසාදය පළ කළ චීන ජනාධිපතිවරයා එහිදී අසීරුතාවයට පත්වූ සියලු ශ‍්‍රී ලාංකීය ජනතාව වෙනුවෙන් සිය කණගාටුව පළ කළේය.

ත‍්‍රස්ත අභියෝගය ජය ගනිමින් යළි නැඟී සිටින ශ‍්‍රී ලංකාව සමඟ චීන රජය සෑමවිටම අත්වැල් බැඳගෙන සිටින බව මෙහිදී අවධාරණය කළ චීන ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් ඕනෑම අවස්ථාවක ඕනෑම සහයක් උපරිම ලෙස ලබාදීමට කටයුතු කරන බව ද කියා සිටියේය.

අප්‍රේල් 21 වනදා සිදුවීම සහ එහිදී ගත් පියවර මෙන්ම ශ‍්‍රී ලංකාවේ නව ආරක්ෂක වැඩපිළිවෙළ පිළිබඳ මෙහිදී ජනාධිපතිවරයා චීන ජනාධිපතිවරයා සමඟ විශේෂ කරුණු රැසක් සාකච්ඡා කරන ලදී.

දෙරටේ ආරක්ෂක අංශ අතර සහයෝගිතා වැඩපිළිවෙළ ශක්තිමත් කර ගැනීම සහ බුද්ධි අංශ අතර තොරතුරු හුවමාරු වැඩසටහන් පුළුල් කර ගැනීම පිළිබඳව ද සාකච්ඡාවට බඳුන් කෙරිණි.

එමෙන්ම ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේ ත‍්‍රස්තවාදය මැඩලීමේ දී මෙන්ම අන්තර්ජාල සහ සමාජ වෙබ් අඩවි හරහා අසත්‍ය ප‍්‍රචාර පතුරවමින් සැඟවී සිට ත‍්‍රස්තවාදය වපුරන පිරිස් සහ අපරාධ සිදු කරන්නන් හඳුනාගැනීමටත්, එම අපරාධ වළක්වා ගැනීම වෙනුවෙනුත් අවශ්‍ය තාක්ෂණික උපකරණ සහ දැනුම ශ්‍රී ලංකාවට නොමැති බවයි.

එම උපකරණ සහ තාක්ෂණය ශ‍්‍රී ලංකාවට ලබාගැනීම සඳහා කඩිනම් සහය ලබාදීමට මෙහිදී එකඟතාවය පළ කළ චීන ජනාධිපතිවරයා ඒ පිළිබඳ සොයා බැලීමට චීන තාක්ෂණික කණ්ඩායමක් ශ‍්‍රී ලංකාවට එවීමට කටයුතු කරන බව ද කියා සිටියේ ය.