පාස්කු ප්‍රහාරය ගැන අගමැති සිංහලෙන් බෙදන තොරතුරු වලට හමුදා, පොලිස් බාධා: බාහු | VIDEO

Report
27Shares

ශ්‍රී ලංකාවේ සැබෑ ලෙසම බලය ඇත්තේ විධායකය සතුවද නැතිනම් පාර්ලිමේන්තුව සතුවද යන්න පිළිබඳ පැහැදිලි තත්වයක් නැති නිසා පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් අගමැතිවරයා විසින් තොරතුරු බෙදා හරිනු ලැබීමට බාධා පමුණුවන බවට වාමාංශික නායකයෙක් ජනාධිපතිවරයා යටතේ පවතින ආරක්ෂක අංශ වලට චෝදනා කරයි.

ජනාධිපති වරයාගේ බලයේ සීමාව පෙන්නා දී ජාතිවාදය පරාජය කිරීමට ආණ්ඩුව කටයුතු නොකළොත් රට අඳුරේ යැයි නව සමසමාජ පක්ෂයේ නායකයා අනතුරු අඟවයි.

“රනිල් වික්‍රමසිංහ මහත්තයා රාජ්‍ය ආරක්ෂක අංශ වලින් ලැබුනු විමසුමක් බෙදාහරින්න පටන් ගත්තා සිංහලෙන්. එතකොට හමුදාව පැනලා පොලිසිය පැනලා ඒක නවත්තලා ඒවා උදුරාගෙන කොල ජනාධිපතිට මේකේ විවේචනයක් තියෙනවා කියලා,” යි නසසප ප්‍රධාන ලේකම් වික්‍රමබාහු කරුණාරත්න මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශ කළේය.

ඉංග්‍රීසි භාෂාවෙන් දැනටමත් ප්‍රසිද්ධියට පත්වී ඇති එම තොරතුරු සිංහලෙන් ප්‍රචාරය වීමට බාධා කිරීම සිංහලයන්ට කරන ලද අපරාධයක් සහ ජාතිවාදය ඇවිස්සීමක් ලෙස හෙලා දුටු ඔහු පාස්කු ඉරුදින ප්‍රහාරයේ පසුබිම පැහැදිලි කෙරෙන එම ලියවිලි වහාම බෙදා හරින ලෙස ඉල්ලා සිටියේය.

පවතින ව්‍යවස්ථා ප්‍රතිපාදන යටතේ සීමා කර ඇති බලතල ඉක්මවා යමින් ජනාධිපතිවරයා නියෝග පනවමින් කටයුතු කිරීම නිසා රට විශාල අවුලකට ගොස් ඇති බව පවසන ආචාර්ය වික්‍රමබාහු පාර්ලිමේන්තුව සතු බලය තහවුරු කිරීමට පියවර නොගැනීම ගැන අගමැති ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයට දොස් පැවරීය.

“19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ බලය කුමක්ද කියලා පෙන්නලා ක්‍රියාකාරීව මේ රට එක්සත් කිරීමට හා ජාතිවාදය පරාජය කිරීමට අගමැති තුමා සහ පාර්ලිමේන්තුව පියවර ගත යුතුයි.”

ව්‍යවස්ථාව පරිදි පොලිස් බලතල විමධ්‍යගත කර නැති හෙයින් පළාත් සභා විසුරුවා හැර ඇති වකවානුවක සිදුවූ මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියා පැතිර යාම සිදුවූ බව ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න වැඩිදුරටත් කියා සිටියේය.