නැවත සේවයේ පිහිටවූ අපරාධ චූදිත බුද්ධි නිලධාරියා: “හොරෙක් අල්ලන්න හොරෙක්” හමුදාපති | VIDEO

Report
8Shares

මුල් පෙලේ කර්තෘවරයකු ඝාතනය කිරීම ඇතුළු මාධ්‍යවේදීන්ට එරෙහි සාපරාධී කටයුතු සම්බන්ධයෙන් චෝදනා ලබන හමුදා ඔත්තු සේවා නිලධාරියකු නැවත සේවයේ පිහිටුවීම මගින් පරීක්ෂණ වලට බාධා වීමේ අවදානම නොතකා ඔහු ආරක්ෂා කර ගැනීමට ශ්‍රී ලංකාවේ හමුදා ප්‍රධානියා ඉදිරිපත් වී සිටී.

මහින්ද රාජපක්ෂ පාලන සමයේ දී මාධ්‍යවේදීන් කිහිප දෙනකුටම එරෙහිව සිදුකළ අපරාධ ගැන සැකපිට රහස් පොලිසිය විසින් 2017 දී අත් අඩංගුවට ගන්නා ලදුව දැන් ඇප ලබා නිදහස් කර සිටින මේජර් ප්‍රභාත් බුලත්වත්ත “ඔහුගේ විශේෂඥ දැනුම” ලබා ගැනීම සඳහා නැවත සේවයේ පිහිටුවීම අත්‍යාවශ්‍ය බව හමුදාපති වරයා කොළඹදී මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේය.

“හොරෙක් ගැන හොයන්න ඕනේ හොරෙක්ගෙන්, හාමුදුරු කෙනෙක් ගැන අහන්න ඕනේ හාමුදුරු කෙනෙක් ගෙන්,” යයි ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක පැවසීය.

අධිකරණය හමුවේ පොලිසිය විසින් හෙළි කරන ලද පරීක්ෂණ තොරතුරු අනුව සන්ඩේ ලීඩර් පුරෝගාමී කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය, ද නේෂන් හිටපු නියෝජ්‍ය කර්තෘ කීත් නොයාර් පැහැරගෙන ගොස් වධබන්ධන පැමිණවීම සහ රිවිර හිටපු කර්තෘ උපාලි තෙන්නකෝන්ට පහර දීම ඇතුළු සාපරාධී ක්‍රියා සිදුකළ බවට සැක කෙරෙන කොළඹින් ක්‍රියාත්මක වුනු “ට්‍රිපොලි” රහසිගත යුද හමුදා බුද්ධි ඒකකය මෙහෙයවා ඇත්තේ මේජර් බුලත්වත්තයි.

ඔහු හමුදා සේවයේ යොදවා සිටීමෙන් පරීක්ෂණ කටයුතු වලට බාධා පැමිණෙනු ඇති බවට මාධ්‍යවේදීන් බිය පලකළත්, මතබේදයට තුඩු දී සිටින ඔත්තු සේවා නිලධාරියාගේ පත්වීම නැවත සලකා බැලීම යුද හමුදාපතිවරයා දැඩිසේ ප්‍රතික්ෂේප කළේය.

නඩු නැති ඝාතන, පැහැරගෙන යාම් හා වධබන්ධන හා ඇතුළු මාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ සම්බන්ධ පරීක්ෂණ වලට මේජර් බුලත්වත්තගෙන් බාධා පැමිණෙනු ඇති බවට ජාත්‍යන්තර හා දේශීය මාධ්‍යවේදී සංවිධාන අනතුරු අඟවා තිබේ.

මාධ්‍යවේදීන් හා මාධ්‍ය ආයතන ඉලක්ක කර සිදු කරන ලද අපරාධ පිළිබඳ විමර්ශන කටයුතු සඳහා සඳහා සාක්ෂි දුන් නිලධාරීන් හා පුද්ගලයන්ගේ හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ ජීවිත ඔහුගේ පත්වීමෙන් අනතුරේ හෙලනු ලබනු ඇති බවට ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය බිය පල කර තිබුනි.

මාධ්‍යවේදීන්ට එරෙහිව අපරාධ සිදුකරන කිසිවකුටත් දණ්ඩ මුක්තිය ලබා ගැලවී යන්නට ඉඩ නොදෙන බවට ශ්‍රී ලංකාවේ රජය කරන ප්‍රකාශ මෙම පත්වීම මගින් බරපතල ලෙස නිශේධ කෙරෙන බව නිව්යෝක් මුලස්ථාන කොටගත් මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව සඳහා වන කමිටුව (CPJ) ප්‍රකාශ කරයි.

කෙසේ වෙතත් මතබේදයට තුඩුදී ඇති මේජර්ගේ පත්වීම යුක්ති සහගත කරන්නට යුද හමුදාපතිවරයා දැඩි ලෙස ඉදිරිපත් විය.

“මම ඔහු පාවිච්චි කළ යුතුයි. ඒක මගේ වගකීම. මට ඒක කරන්න කාගේවත් අවසර ඕනේ නෑ. අනික මම මොනවා කරන්න ඕනෙද කියලා මේ රටේ කවුරුත් මට කියන්න එන්න ඕනේ නෑ.”

මේජර් බුලත්වත්තගේ පත්වීම පරීක්ෂණ වලට බාධාවක් වනු නැති බවට විශ්වාසය තබා සිටින ලෙස යුද හමුදාපති මහේෂ් සේනානායක මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටියේය.

මානව හිමිකම් බරපතල ලෙස කෙලෙසීම් පිළිබඳව ලංකාවේ ආරක්ෂක නිලධාරීන්ට චෝදනා එල්ලවන විභාග ගණනාවක්ම නොවිසඳී කල් ගතවෙමින් පවතින අතර, එම පරීක්ෂණ වලට බාධා නොකරන ලෙස හමුදා නිලධාරීන්ට උසාවියේදී අවවාද කරන්නට විනිශ්චයකාරවරුන්ට කිහිප වතාවක්ම සිදු විය.