දේශපාලන රැකවල් පතන්නන් ශ්‍රී ලංකාවට හරවා යැවීම ගැන බ්‍රිතාන්‍ය විපක්ෂ නායක විරෝධය| VIDEO

Report
7Shares

රජයේ ආරක්ෂක විසින් වධහිංසා කරනු ලබන බවට නැගෙන චෝදනා මධ්‍යයේ දේශපාලන රැකවරණ පතා එන පුද්ගලයන් ආපසු ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යය විපක්ෂ නායකයා විරෝධය පල කරයි.

පාස්කු ඉරිදා ඝාතන මෙන්ම ඉන් අනතුරුව දියත් වුනු මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියා ද දැඩි ලෙස හෙලා දුටු ජෙරමි කෝබින් දස වසරකට ඉහත සිදුවූ දෙමළ ජනඝාතන මෙන්ම අදත් සිදුකෙරෙන බවට චෝදනා නැගෙන වධහිංසා සම්බන්ධ පරීක්ෂණ පැවැත්වීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයට නිර්බාධිතව ශ්‍රී ලංකාවට ඇතුල් වීමට අවසර ලබා ගැනීමට බ්‍රිතාන්‍යය ක්‍රියාකාරීව මැදිහත් විය යුතු බවට අවධාරණය කළේය.

බ්‍රිතාන්‍ය පුහුණුව ලබන විදේශීය හමුදා පොලිස් බලඇණි එරටින් ආනයනය කරන අවි ආයුධ මර්දනය සහ පීඩනය සඳහා යොදාගැනීම දැඩි ලෙස හෙලා දකින ලේබර් පක්ෂ නායක ජෙරමි කෝර්බින් ගගන සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ අවි අපනයන බලපත්‍ර ලබාදීමේදී දැනට වඩා දැඩි සීමා අනුගමනය කළ යුතු වන බවයි.

බ්‍රිතාන්‍ය විපක්ෂ නායකයා ශ්‍රී ලංකාවේ මානව හිමිකම් චර්යාව සම්බන්ධයෙන් අනාගත ලේබර් ආණ්ඩුවක ප්‍රතිපත්තිය සම්බන්ධ කතාබහකට එක්වුනේ යුද්ධයේ ජනසංහාරය සිහිපත් කරමින් ලන්ඩනයේ දෙමළ තොරතුරු මධ්‍යස්ථානය (TIC) විසින් දෙදිනක් පුරා පැවැත්වූ ප්‍රදර්ශනයකට සහභාගි වෙමින් සිටියදීයි.

දෙමළ ජනතාව මර්දනයට සහ මුස්ලිම් විරෝධී ප්‍රහාරවලට සහාය දැක්වීම සම්බන්ධයෙන් චෝදනා ලබන ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශවල ප්‍රයෝජනය සඳහා යුද්ධාධාර සැපයීම අත්හිටුවීමට තම නායකත්වය යටතේ වන අනාගත ආණ්ඩුවකින් පියවර ගන්නා බවට බ්‍රිතාන්‍ය විපක්ෂ නායකයා සහතික විය.

දශක ගණනාවක සිට සංවිධානාත්මක ලෙසින් සිදුවූ දෙමළ ජනඝාතන වර්ග සංහාරයක් දැයි විභාග කොට තහවුරු කිරීම ජාත්‍යන්තර අධිකරණයක් විසින් සිදුකළ යුත්තක් බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.