නැව් සුක්කානම පින්තාරු කළ ඇඳුමකට මුස්ලිම් කාන්තාවක් ඇප නොදී රිමාන්ඩ්

Report
4Shares

නැව් සුක්කානම් රූප සහිත ඇඳුමක් නිසා අත් අඩංගුවට ගන්නා ලද මුස්ලිම් ජාතික මාතාවක් මහේස්ත්‍රාත් අධිකරණයකින් ඇප දිය නොහැකි නීති යටතේ දෙවැනි වතාවටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ශ්‍රී ලංකාවේ බලධාරීන් පියවර ගෙන තිබේ.

හසලකදී අත් අඩංගුවට ගන්නා ලද හතලිස් හත් හැවිරිදි එම් ආර් මසාහිමා පොලිසිය විසින් අධිකරණය හමුවට පමුණුවන ලද්දේ ඇගේ කෆ්තාන් ඇඳුමේ පින්තාරු කොට ඇත්තේ ධර්මචක්‍ර සංකේතයක් බව පවසමිනි.

එය බෞද්ධ සංකේතයකට අපහාස කිරීමක් බවට චෝදනා නගා ඇත්තේ මානව හිමිකම් රැකීම අරමුණු කොට සම්මත කරගන්නා ලද 2007 අංක 56 දරණ සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (ICCPR) යොදාගනිමිනි.

එම පනත යටතේ චෝදනා ගොනු කළ විට මහේස්ත්‍රාත් අධිකරණයකින් ඇප ලබා ගත නොහැකිය.

මතබේදයට තුඩු දී ඇති සංකේතය හරියාකාර හඳුනා ගැනීම සඳහා කාන්තා ඇඳුම බෞද්ධ කටයුතු පිළිබඳ අමාත්‍යාංශය වෙත යවන ලද බව පොලිසිය විසින් දැනුම් දීමෙන අනතුරුව මහියංගනය මහේස්ත්‍රාත් ගාමිණී රඹකැන්පුර විසින් සැකකාරිය ජූනි 3 දක්වා රිමාන්ඩ් භාරයට පත් කර තිබේ.

කොළඹ කුලී රැකියාවක නියුතු සිය සැමියා විසින් එදිනෙදා වියදම සඳහා එවන ලද මුදලක් ලබාගැනීමට බැංකුවට යාමේදී එම් ආර් මසාහිමා ගේ ඇඳුම සම්බන්ධයෙන් කරන ලද පැමිණිල්ලක් අනුව පොලිසිය ඇය අත් අඩංගුවට ගෙන ඇත්තේ මැයි 16 දාය.

මහත් කම්පාවට පත් ඇගේ සැමියා, අබ්දුල් මුනාස් පවසන පරිදි නැව් සුක්කානම සහිත ඇඳුම වසර එකහමාරක පමණ කාලයක සිට ඇය විසින් අඳිනු ලබන්නකි.

පැමිණිලි කළ පලියට නිසියාකාර පරීක්ෂණ නොකර පුද්ගලයන්ට දඬුවම් කිරීමට පොලිසිය කඩිමුඩියේ පියවර ගැනීම බරපතල අසාධාරණයක් බව ඔහු වැඩිදුරටත් අවධාරණය කරයි.

පොලිසිය කාන්තා ඇඳුම අධ්‍යයනය කරන අවස්ථාවේ පසුබිමේ රුවල් නැවක ආකෘතියක් තිබෙනු ඡායාරූපයේ දැකගත හැකිය.

ICCPR පනත යොදා ගනිමින් පොලිසිය විසින් මීට ඉහතදී අත් අඩංගුවට ගන්නා ලද සම්මානලාභී ලේඛක ශක්තික සත්කුමාර ද මේ වනවිට ඇප නොලබා දෙමාසයකට ආසන්න කාලයක් සිරගත කොට සිටී.