මුස්ලිම් විරෝධී කැරැල්ලට පොලිසිය හවුල් වූ අයුරු රජයේ කොමිසමක් හෙළිකරයි

Report
4Shares

පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් සති තුනක් ගතවූ පසු එක් අයකුට මරු කැඳවමින් දිවයිනේ පළාත් කිහිපයක දියත් වූ මුස්ලිම් විරෝධී කැරැල්ල වැලැක්වීමට හෝ මැඩ පැවැත්වීමට හෝ නිසි පියවර නොගැනීම සම්බන්ධයෙන් පොලිසිය දැඩි දෝෂ දර්ශනයට ලක් වී සිටී.

වයඹ පළාත, හලාවත දිස්ත්‍රික්කය සහ මිනුවන්ගොඩ සිදුකළ නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුව ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසමේ අප්‍රසාදය පළකරමින් වැඩබලන පොලිස් ප්‍රධානී චන්දන වික්‍රමරත්න ට ලියා ඇති ලිපියක දැක්වෙන පරිදි, මැයි 12, 13 දෙදින සිදුවූ ජාතිවාදී ප්‍රචණ්ඩ ක්‍රියා වලට ඇතැම් ස්ථානවල පොලිසිය හවුල් වී ඇත.

නාත්තන්ඩිය ප්‍රදේශයේ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් සැකකෙරෙන කණ්ඩායමක් අත් අඩංගුවෙන් ගලවා ගැනීම සඳහා එක් අවස්ථාවක දී වැඩබලන පොලිස්පතිවරයාම සෘජුව මැදිහත් වී ඇති බවත් එම ලිපිය හෙළි කරයි.

“කොට්ටරාමුල්ලේ ප්‍රහාර සම්බන්ධයෙන් කොස්වත්ත පොලිසිය විසින් අත් අඩංගුවට ගන්නා ලද හතර දෙනෙක් මැයි 15 දා පොලිසිය විසින් නිදහස් කර යවා ඇත. ස්ථානාධිපති විසින් වාර්තා කරන ලද පරිදි, ඔහුට එසේ කරන්නට සිදුවී ඇත්තේ වැඩබලන පොලිස්පතිවරයාගේ නියෝගය පරිදිය,” යි කොමිසමේ ප්‍රධානී ආචාර්ය දීපිකා උඩගම විසින් මැයි 23 දා යවන ලද ලිපියේ සඳහන් වේ.

ඇඳිරි නීතිය යටතේ

එමෙන්ම කරන්තිපොල කඩ වැනසීම සම්බන්ධයෙන් කුලියාපිටිය පොලිස් අත් අඩංගුවේ සිටි සිව් දෙනකු කලහකාරීන්ගේ බලපෑමට මැයි 13 දා නිදහස් කර යැවීමත් සමගම කුලියාපිටිය නගරයේත්, රඹාවැවත් මුස්ලිම් ජාතිකයන් සතු කඩසාප්පු වලට පහර දී ඇත. ඒ ඇඳිරි නීතිය බල පැවැත්වෙද්දීය.

ඇතැම් ස්ථානවල එක දිගට පැය ගණනක් ගම් වනසමින් ප්‍රහාර දියත් වෙද්දී, ඒවා වැලැක්වීම සඳහා පොලිසිය, විශේෂ කාර්ය බලකාය හෝ ත්‍රිවිධ හමුදා හෝ මැදිහත් නොවූ බවට මානව හිමිකම් කොමිසම චෝදනා කරයි.

“කොට්ටරාමුල්ල මෙන්ම, හෙට්ටිපොල, වට්ටකාලි, තුම්මෝදර, මයිකුලම්, බණ්ඩාර කොස්වත්ත, කොට්ටම්පිටිය, මිනුවන්ගොඩ, නිකවැරටිය වැනි ස්ථානවල මුස්ලිම් දේවස්ථාන, රථවාහන සහ වෙනත් දේපොළ හිතු හැටියේ විනාශකරන්නට කල්ලිවලට අවස්ථාව උදා කර දී ඇති බවක් දිස්වේ.”

බණ්ඩාර කොස්වත්තේ ප්‍රධාන ඉස්ලාමීය දේවස්ථානයට කැරලිකරුවන් පහර දී ඇත්තේ පොලිසිය හා හමුදාව බලා සිටියදීය.

කොට්ටම්පිටිය ගමට විරුද්ධ ප්‍රචණ්ඩ ක්‍රියා දියත් වී ඇත්තේ ප්‍රහාර එල්ල වීමේ අවදානමක් ඇතැයි පවසා පොලිසිය විසින් ප්‍රදේශවාසීන් ප්‍රධාන මාර්ගයෙන් ඉවත්කිරීමෙන් අනතුරුවය.

“පසුදා (මැයි 14) අපට දැකගන්නට ලැබුනේ හුදෙකලා පොලිස් නිලධාරියකු ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා කොට්ටම්පිටිය ගම්මානයට පැමිණෙන ආකාරයයි.”

ප්‍රහාරයට ලක් වූ ප්‍රදේශ වලට අමතර ආරක්ෂක බලඇණි යෙදවීම අතිශයින් ප්‍රමාද වීම නිසා ගම්වාසීන් ජීවිත බේරාගන්නට පලා ගොස් සිටිය දී කැරලිකරුවන්ට ගම්බිම් වැනසීමට මග පෑදී තිබේ.

“මීට අමතරව, කොට්ටාරමුල්ල ප්‍රධාන මාර්ගය, කුලියාපිටිය හා මිනුවන්ගොඩ වැනි ඇතැම් ප්‍රදේශවල, පොලිස් නිලධාරීන් බලා සිටියදී කලහකාරීන් රංචු ගැසුනු බවට අපට බොහෝ පැමිණිලි ලැබී ඇතැ,” යි මානව හිමිකම් කොමිසමේ සභාපතිනිය වැඩබලන පොලිස්පතිවරයාට යවන ලද ලිපියේ සඳහන් වේ.

නීතිය අයථා ලෙස යොදා ගැනීම

වාර්ගික හා ආගමික ප්‍රචණ්ඩතා අවුලුවාලන පුද්ගලයන්ට එරෙහිව සම්පාදනය කොට ඇති නීති අයථා ලෙස යොදාගැනීම ගැනද පොලිසියට චෝදනා නැගී තිබේ.

ICCPR යනුවෙන් හැඳින්වෙන 2007 අංක 56 දරණ සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත යටතේ අත් අඩංගුවට ගනු ලබන පුද්ගලයන්ට සුවිශේෂී තත්වයන් යටතේ පමණක් ඇප ලබා දිය හැකි වන්නේ මහාධිකරණයකින් පමණක් බව ආචාර්ය දීපිකා උඩගම සිය ලිපියෙන් වැඩබලන පොලිස් ප්‍රධානියාට සිහිපත් කර දී ඇත.

කෙසේවෙතත්, වාර්ගික ප්‍රහාර සම්බන්ධයෙන් බිංගිරිය පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් හෙට්ටිපොල පොලිසියට ගෙනගොස් ආපසු ගෙනවිත් පොලිස් ඇප දී නිදහස් කර යවා ඇත්තේ බරපතල කමින් අඩු වරදක් වන කලබල කිරීමේ චෝදනා නගමිනි.

මේ වනවිට මුහුණුපොතේ කෙටිකතාවක් පලකළ ලේඛක ශක්තික සත්කුමාර සහ නැව් සුක්කානම් රූප රැගත් වස්ත්‍රයක් හැඳ සිටි එම් ආර් මසාහිමා මුස්ලිම් මවක් වාර්ගික අසමගිය ඇතිකිරීමට කටයුතු කළ බවට චෝදනා නගා පොලිසිය විසින් ICCPR යටතේ ඇප නොදී රඳවාගෙන සිටී.

බිංගිරියේ කැරලිකරුවන්ට පොලිස් ඇප ලබා දීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී දයාසිරි ජයසේකර මැදිහත් වීම මහත් ආන්දෝලනයකට තුඩු දී තිබුනි.

තමන් සැකකරුවන් බේරා ගැනීමට මැදිහත් වූ බව ප්‍රතික්ෂේප කරන මන්ත්‍රීවරයා පවසා තිබුනේ පොලිස් ඇප ලබා දීමට ප්‍රදේශය බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා එකඟ වී තිබුනු බවයි.

“සැකකරුවන් බිංගිරියෙන්, හෙට්ටිපොලටත්, ආපසුත් මාරුකර යැවෙනු දැක්වෙන කිසිදු වාර්තාවක් නැති බව අප විසින් නිරීක්ෂණය කරන ලදී. මේ මහත් ගැටලුකාරී තත්වය, දේශපාලන මැදිහත්වීම් පිළිබඳ චෝදනා වලින් තවත් බරපතල බවට පත්වේ.”

මානව හිමිකම් කොමිසම විසින් නිරීක්ෂණය කරන ලද තත්වය ‘අසතුටුදායක’ බව සඳහන් කරන සභාපති වරිය එය නිවැරදි කිරීම සඳහා වහාම පියවර ගන්නා ලෙස වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්නගෙන් ඉල්ලා සිටිමින් තමන්ගේ නිර්දේශ ද දැනුම් දී තිබේ.