නිර්දෝෂී පිරිස් වහාම නිදහස් කරන ලෙස ආගමික නායකයෝ ඉල්ලති | VIDEO

Report
5Shares

මාසයකට ඉහත පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාර මාලාවෙන් අනතුරුව දිවයිනේ විවිධ ප්‍රදේශවලින් අත් අඩංගුවට ගන්නා ලද පුද්ගලයන් අතර ඉන්නා නිර්දෝෂී පිරිස් නිදහස් කොට සැක සහිත පුද්ගලයන් සම්බන්ධ විමර්ශන කටයුතු කඩිනමින් නිමා කරන ලෙස සර්වාගමික සහ සිවිල් සංවිධාන එකතුවක් රජයෙන් ඉල්ලා සිටී.

කොළඹ පැවති විද්වත් සාකච්ඡාවක එකඟතා ප්‍රකාශයට පත් කරමින් ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ නියෝජ්‍ය ලේකම් නාහිමියන් කියා සිටියේ ගැටුම් වලට සම්බන්ධ නැතිව ද පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන සිටින සාමාන්‍ය ජනතාව නිදහස් කරන මෙන් ඉල්ලා සිටීමට ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආගම් හතරේම නායකත්වය එකඟ වූ බවයි.

එමෙන්ම ඉකුත් මාසයක කාලයක පටන් සිදුකරන පරීක්ෂණ නිසා මහජනතාව පීඩාවට පත්වීම පිළිබඳවද ආගමික නායකයන්ගේ අවධානය යොමුවී තිබේ.

“ඒ හැම පරීක්ෂණයක්ම එදිනෙදා ආගමික චාරිත්‍ර වාරිත්‍ර වලට බාධා නොවන ආකාරයට සහ සාමාන්‍ය ජනතාවට පීඩාවක් නොදෙන ආකාරයට බොහොම සන්සුන්ව ඒ පරීක්ෂණ සිදු කරන ලෙස අපි ඒ බලධාරීන්ගෙන් බොහොම කරුණාවෙන් ඉල්ලා සිටිනවා,” යි මාදම්පාගම අස්සජි නාහිමියෝ මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියහ.

සියලුම ආගම් වලට පොදු නීති මාලාවක් සම්පාදනය සඳහා කෙරෙන ඉල්ලීම් සම්බන්ධයෙන් තීරණ ගත යුත්තේ සාකච්ඡා මාර්ගයෙන් ඇති කරගන්නා සම්මුතියකින් බව සර්වාගමික සහ සිවිල් සංවිධාන එකතුවේ අදහස වී තිබේ.

අනාගතයේ දී විනාශකාරී කටයුතු වලක්වා ගනිමින් ජනපීඩා සිදු නොවීම වෙනුවෙන් සර්වාගමික නායකයන් පළාත්බදව සංවිධානය වීමේ අවශ්‍යතාව ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ නියෝජ්‍ය ලේකම් මාදම්පාගම අස්සජි නාහිමියෝ අවධාරණය කර සිටියහ.