පොලිසිය උසාවි නියෝග ක්‍රියාත්මක නොකිරීම වාර්තා කළ මාධ්‍යවේදියාට හිරිහැර | VIDEO

Report
14Shares

උතුරේ එකම භූමිභාගයක පිහිටි කෝවිලක් සහ පන්සලක් අතර ආරාවුලක් සම්බන්ධ උසාවි නියෝගයක් නොතකා හැරීම වාර්තා කළ සම්මානලාභී දෙමළ මාධ්‍යවේදියකු පොලිසියේ හිරිහැරයට ගොදුරු වී තිබේ.

ගැටුමට පැටලී සිටින කෝකිලායි හි නීරාවියඩි පුල්ලෙයාර් කෝවිල සහ ගුරුකන්ද විහාරය පිහිටි භූමියේදී කෝකිලායි පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක තමන්ට පහර දී, පරුෂ වචනයෙන් බැන වැදී වාර්තාකාරණයට අවහිර කළ බව නිදහස් මාධ්‍යවේදී කනපතිපිල්ලේ කුමනන් පැවසීය.

මාධ්‍යවේදියා මැයි 27 දා එහි ගොස් තිබුනේ එයින් සති තුනකට ආසන්න කාලයකට ඉහතදී දෙන ලදුව නොතකා හැර තිබූ තීන්දුවක් අධිකරණය නැවතත් මැදිහත් වී ක්‍රියාත්මක කෙරෙනු වාර්තා කිරීමටය.

මැයි මස මුලදී අධිකරණය විසින් තීන්දු කර තිබුනේ හින්දු බෞද්ධ දෙපාර්ශවයටම ආගමික කටයුතු සිදුකරගෙන යාම සඳහා අවසර දීමටයි.

බෞද්ධ විහාරයේ මැදිහත් වීමෙන් කෝවිලට අලුතින් යොදා තිබූ “ගණදෙවි දේවාලය” යනුවෙන් සඳහන් නාම පුවරුව වෙනුවට පැරණි දෙමළ නම යෙදීමටත්, කෝවිල දෙසට මානා විහාර පිවිසුමේ සවිකර තිබූ CCTV කැමරා ඉවත් කිරීමටත් දිසා විනිසුරු එස් ලෙනින් කුමාර් විසින් මැයි 6 දා නියම කර තිබුනි.

සති තුනකට ආසන්න කාලයක් ගතවීත් එම නියෝග ක්‍රියාත්මක කොට නැති අයුරු මාධ්‍යවේදී කුමනන් විසින් ඡායාරුප සහිතව දෙමළ මාධ්‍යවල පළකිරීමෙන් අනතුරුව කෝවිල් පාලක සභාව මැයි 27 දා අධිකරණයේ සරණ පතා තිබුනි.

එදින විනිසුරු වරයා අධිකරණ නියෝගය වහාම ක්‍රියාවේ යොදවන ලෙස පොලිසියට නියම කර තිබේ.

ඒ අනුව දේවාලයේ පැරණි නම පින්තාරු කරනු වාර්තා කිරීමට ගිය අවස්ථාවේ දීයි මාධ්‍යවේදියා හිරිහැරයට ලක්ව ඇත්තේ.

ඊට අමතරව ගුරුකන්ද විහාරයේ කොළඹ මේධාලංකාර කිත්ති හිමි කැටුව පැමිණි තරුණයකුද තමන්ට පරුෂ වචනයෙන් බැන වැදුනු බව කුමනන් ගගන හා පැවසීය.

“ඒ වෙලාවේ පොලිසියෙනුයි ආමි එකෙනුයි දෙකෙන්ම ඇවිත් හිටියා. මූණ වහගෙන මෝටර් සයිකල් වලින් කට්ටිය අපේ වටේ කැරකුනා.”

උතුරේ හමුදාකරණය පිළිබඳ නිරන්තර වාර්තාකරණය නිසා කිහිපවර හිරිහැරයට ලක්ව සිටින කනපතිපිල්ලේ කුමනන්, තොරතුරු දැනගැනීමේ පනත මහජන සුබසිද්ධිය සඳහා යොදාගැනීමේ මාධ්‍ය භාවිතය සම්බන්ධයෙන් සම්මානයට පාත්‍ර වූවෙකි.