දෙමළ මාධ්‍යවේදීන්ට එරෙහි ප්‍රහාර “ශ්‍රී ලංකා ඉතිහාසයේ නරකම කාලයක් මතක් කරදෙයි”

Report
2Shares

රජයේ ආරක්ෂක අංශ විසින් සිටින දෙමළ මාධ්‍යවේදීන්ට කරන අඩන්තේට්ටම් වැඩිවෙමින් පැවතීම හෙලා දකින ජාත්‍යන්තර ජනමාධ්‍ය සංවිධානයක් එම ප්‍රහාර සම්බන්ධයෙන් වගකිවයුත්තන්ට එරෙහිව පියවර ගන්නා ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටී.

දෙමළ මාධ්‍යවේදීන් තුන් දෙනකුට හිරිහැර කිරීම සම්බන්ධයෙන් චෝදනා ලබන යුද හමුදාවේ සහ පොලිසියේ නිලධාරීන්ට එරෙහිව පියවර නොගැනීම ගැන කම්පාව පලකරන පැරිසිය මුලස්ථාන කොටගත් දේශසීමා නොමැති වාර්තාකරුවෝ (RSF) සංවිධානය එය “ශ්‍රී ලංකා ඉතිහාසයේ නරකම කාලයක් මතක් කරදෙයි” යනුවෙන් අනතුරු අඟවයි.

කනපතිපිල්ලේ කුමනන්, ෂන්මුගම් තවසීලන් සහ නඩරාජා කුගරාජා යන මාධ්‍යවේදීන් තිදෙනා සිය රාජකාරියේ යෙදී සිටියදී තුන්මාසයකට අඩු කාලයක් තුලදී ඔවුන්ට එරෙහිව කරන ලද ප්‍රචණ්ඩ ක්‍රියා RSF අවධානයට යොමුවී ඇත.

ඔවුන් හට ආරක්ෂක අංශ වල පීඩාවට මුහුණ දීමට සිදුවී තිබුනේ යුද්ධයෙන් දස වසරක් ගතවීත් නොවිසඳුනු දෙමළ ජනතාව මුහුණ දෙන ගැටලු වාර්තා කරමින් සිටියදීය.

“ආතතිය සමනය කිරීමේ හොඳම ක්‍රමය වන්නේ මතබේදයට තුඩුදෙන විෂය නිදහසේ ගවේෂණය කිරීමට මාධ්‍යවේදීන්ට ඉඩ ලබා දීමය,” යි RSF ආසියා ශාන්තිකර කලාපීය ප්‍රධානී ඩැනියෙල් බාස්ටඩ් නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

“සිවිල් යුද්ධය අවසන් වී අවුරුදු දහයක් ගතවීමෙන් පසුවත් දෙමළ වාර්තාකරුවන්ට එරෙහි ආරක්ෂක අංශවල ප්‍රහාර නැවතත් මතුවීම ශ්‍රී ලංකාව මාධ්‍යවේදීන් සඳහා ලෝකයේ මාරාන්තිකම රටක් ලෙස පැවති ඉතිහාසයේ නරකම කාලයක් මතක් කරදෙයි.”

පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් පසු ශ්‍රී ලංකාවේ රජය විසින් ත්‍රස්තවාදය වැළක්වීමේ පනත නැවත පණගන්වමින් යුද සමයේදී මාධ්‍යවේදීන් මර්දනයට යොදාගත් අනපනත් ක්‍රියාවේ යෙදැවීම තම බරපතල අවධානයට හේතුවී ඇති බව නිවේදනය වැඩිදුරටත් පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS) සංවිධානය RSF සංවිධානයේ ශ්‍රී ලාංකීය හවුල්කාර පාර්ශවයයි.