රට කරවන අන්තවාදී බලවේග මට්ටු කරන්න “සිංහල පාලකයන්ගේ මනාපයක් නෑ”

Report
5Shares

දෙමළ ජනතාවට යුක්තිය ඉටු කිරීම ගැන ජාත්‍යන්තරයට දෙන පොරොන්දු ඉටු නොකර කල් ගත කරන ශ්‍රී ලංකාවේ රජය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මුල් පෙලේ ආරක්ෂක මණ්ඩල නියෝජිතවරියක් හමුවේ නොසතුට පල කර ඇති දිවයිනේ ප්‍රධානතම දෙමළ දේශපාලන පක්ෂය අන්තවාදී බලවේග රට කරවන බවට අනතුරු අඟවා තිබේ.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ත්‍රස්ත විරෝධී කමිටුවේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලයේ සහකාර මහලේකම් සහ විධායක අධ්‍යක්ෂිකා මිෂෙල් කොනින්ස්ක් කොළඹදී හමුවූ දෙමළ ජාතික සන්ධාන නියෝජිතයන් පවසා ඇත්තේ සිංහල නායකයන් අන්තවාදී බලවේග වලට යටවෙමින් ජගත් මානව හිමිකම් මණ්ඩලයේ ගිවිසගත් පොරොන්දු ඉටු කිරීම මගහරිමින් සිටින බවයි.

දෙමළ ජනතා අයිතිවාසිකම් ලබා දෙන බවට සිංහල පාලකයන් දශක ගණනාවක් තිස්සේ දුන් පොරොන්දු කඩ කිරීමේ අවසාන ප්‍රතිපලය වූයේ එල්ටීටීඊය සන්නද්ධ අරගල මාවතට අවතීර්ණ වීම බව එක්සත් ජාතීන්ගේ නියෝජිතවරියට පෙන්වා දී ඇති දෙමළ ජාතික සන්ධාන (TNA) නායකයා, වර්තමාන රජයත් අන්තවාදී බලවේග පාලනය කිරීමට වීරිය නොකරන බවට කනස්සල්ල පළකර තිබේ.

“අප පාලනය කරනු ලබන්නේ අපේ කැමැත්තකින් තොරවයි,” යනුවෙන් ආර් සම්බන්ධන් මන්ත්‍රීවරයා එක්සත් ජාතීන්ගේ නියෝජිතවරියට කියා සිටි බව දෙමළ ජාතික සන්ධානය නිවේදනයකින් දැනුම් දී තිබේ.

“යුද්ධයෙන් මහත්සේ දුක් වින්ද අපේ ජනතාවට මේ රටේ තවත් යුද්ධයක් අවශ්‍ය නෑ. මේ රටේ සිංහල ජනතාවට කිසිම හානියක් වෙනවා දකින්න අපි කැමති නෑ. නුමුත් කනගාටුවට කරුණ නම්, මේ රට කරවන අන්තවාදී බලවේග පාලනය කිරීමට සිංහල නායකයන්ගේ මනාපයක් නැතිකමයි.”

සිංහල බෞද්ධ අන්තවාදයට සිත්සේ කටයුතු කිරීමට ඉඩ දෙන රටේ නීති බලධාරීන් විවිධ වාර්ගික කණ්ඩායම් සම්බන්ධයෙන් වෙනස්කම් පාමින් නීතිය ක්‍රියාත්මක වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්දිරන් එක්සත් ජාතීන්ගේ නියෝජිතවරියට පවසා තිබේ.

දෙමළ ජනතාවට යුක්තිය ඉටුකොට දේශපාලන විසඳුමක් දෙන බවට ජගත් ප්‍රජාව හමුවේ දුන් පොරොන්දු ඉටු නොකර කල් ගත කිරීමට ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට ඉඩ සලසා දෙන්නේ නම්, එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි ජාත්‍යන්තර ආයතන පැවතීමේ මූලික අවශ්‍යතාව TNA නායකයා විසින් ප්‍රශ්න කර ඇත.

TNA නායකත්වය විසින් මතුකරන ලද කරුණු තමන් විසින් දෙනු ලබන නිර්දේශ වලට ඇතුලත් කිරීමට සහකාර මහලේකම් මිෂෙල් කොනින්ස්ක් සහතික වූ බව මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.