ජනමාධ්‍ය බොරු කී වගට අස්ගිරියෙන් දෝස්මුරයක් | VIDEO

Report
8Shares

සාමුහික වශයෙන් අමාත්‍ය ධුර අතහැර දැමූ මුස්ලිම් මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් මහනාහිමිවරුන් විසින් කරන ලද ප්‍රකාශයක් වැරදි අන්දමින් පල කළ ජනමාධ්‍ය අස්ගිරි මහා විහාරයේ දෝෂ දර්ශනයට ලක් වී සිටී.

මුස්ලිම් නායකයන්ට නැවත පදවි බාරගන්නා ලෙස මහනාහිමිවරුන් ප්‍රකාශ කළේ යයි ජනමාධ්‍ය විසින් පලකර තිබුනේ “බොරු අදහසක්” යයි අස්ගිරි මහා විහාරවාසී ආණමඩුවේ ධම්මදස්සි අනුනාහිමියෝ පවසති.

“මාධ්‍ය මහත්තුරු හුඟාක් පරිස්සම් වෙන්න ඕනේ, නැත්නම් මේ පළාත්වලට එන්න දෙන්නේ නෑ” යි උන්වහන්සේ මාධ්‍යවේදීන්ට තරවටුවක්ද කළහ.

අනුනාහිමියන් එසේ වදාළේ හිටපු මුස්ලිම් අමාත්‍යවරුන් තම ඉල්ලා අස්වීමට හේතු කාරනා පහදා දීම සඳහා අස්ගිරි-මල්වතු උභය පාර්ශව නියෝජනය කරන මුල් පෙලේ හිමිවරුන් හමුවූ අවස්ථාවේදීය.

මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩතාවක් වලක්වා ජාතික ආරක්ෂාව හා සංහිඳියාව රැකීම අරමුණු කොට ගෙන අමාත්‍ය ධූරවලින් ඉල්ලා අස්වූයේ සංකේතාත්මකව බව හිටපු අමාත්‍යවරු කියා සිටියහ.

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සමග හිටපු ආණ්ඩුකාරවරුන් වන අසාද් සාලි සහ එම් එල් ඒ එම් හිස්බුල්ලා ඉල්ලා අස්වීමට බලකරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් ආරම්භ කළ උපවාසයක් වෛර සහගත, කුපිතකාරී කැළඹීමකට මග පෑදීමේ අවදානම හමුවේ සියලුම මුස්ලිම් අමාත්‍යවරු සිය පදවි අතහැර දමන්නට තීරණය කළ බව ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රස් නායක රවුෆ් හකීම් විසින් සංඝයා වහන්සේට පහදා දෙන ලදී.

සාමුහික වශයෙන් ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් අගමැතිවරයා ප්‍රසාදය පල නොකළ බවද හිටපු අමාත්‍යවරයා එහිදී හෙළි කළේය.