මුස්ලිම් විරෝධී අසත්‍ය ප්‍රචාර ගැන යුරෝපා බලවතුන් හා අගමැති අතර සාකච්ඡා

Report
1Shares

අගමැතිවරයා සහ යුරෝපා රාජ්‍යතාන්ත්‍රිකයන් පිරිසක් අතර කොළඹ පැවති විශේෂ හමුවකදී ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාවට එරෙහි බලවේග මෙන්ම ආගමික සංහිඳියා මණ්ඩලයක් පිහිටුවීමද සාකච්ඡාවට ලක්වී තිබේ.

“රටේ සාමය සහ සංහිඳියාව අනතුරේ හෙලමින් ශ්‍රී ලංකාවේ මුස්ලිම් ප්‍රජාව ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක වන දේශපාලනික සහ ආගමික බලපෑම් පිලිබඳ අපේ දැඩි අවධානය යොමුවී ඇත,” යි අරලියගහ මන්දිරයේ පවත්වන ලද සාකච්ඡාවෙන් අනතුරුව යුරෝපා දූත මණ්ඩලය වෙනුවෙන් නිකුත් කරන ලද නිවේදනයක දැක්වේ.

“දිගින් දිගටම මාධ්‍ය මගින් ප්‍රචාරය කරනු ලබන අගතිගාමී සහ අභූත චෝදනා මගින් සිදුවන්නේ නොසන්සුන්තාව තවත් වැඩිවීම පමණි.”

තම අදහස් අගමැතිවරයාට දැනුම් දෙන ලද බව යුරෝපා දූත මණ්ඩලය පවසයි.

වෛරී ප්‍රකාශන සාපරාධී ක්‍රියාවක් බවට පත් කිරීම සඳහා අපරාධ නීති සංග්‍රහය සහ අපරාධ විධිවිධාන පනත සංශෝධනය කිරීමේ අපේක්ෂාව අගමැති වරයා විසින් යුරෝපා නියෝජිතයන්ට දැනුම් දුන් බව අගමැති කාර්ය මණ්ඩලය පවසයි.

“මුස්ලිම් ජනතාවට එරෙහි උසිගැන්වීම් වැළැක්වීම උදෙසා රජය විසින් ගෙන ඇති පියවර පිළිබඳවද, දැනට අත්අඩංගුවේ/ රැඳවුම් භාරයේ සිටින, ත්‍රස්තවාදයට සහ ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට සෘජු සම්බන්ධයක් නැති පුද්ගලයන් පිළිබඳව විමසා ඔවුන් නිදහස් කිරීමටද අවශ්‍ය පියවර ගනිමින් පවතින බවද රනිල් වික්‍රමසිංහ පැහැදිලි කළේය,” යි ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු පිළිබඳ අග්‍රාමාත්‍ය උපදේශක සුදර්ශන ගුණවර්ධන කියා සිටී.

“වෛරී ප්‍රකාශ සම්බන්ධයෙන් පියවර ගැනීමට හා ආගමික සංහිඳියා මණ්ඩලයක් ස්ථාපනය කිරීමට රජය දක්වා ඇති කැපවීමද අපි අනුමත කරමු,” යි යුරෝපා දූත මණ්ඩල නිවේදනයේ සඳහන් වෙයි.

සංඝයා වහන්සේ මුල්වූ සංහිඳියා මණ්ඩලයක්

කෙසේ වෙතත්, අගමැතිවරයා පවසා ඇත්තේ යෝජිත සංහිදියා මණ්ඩලය බෞද්ධයන්ගේ මුලිකත්වයෙන් පිහිටුවනු ලබන බවයි.

“ත්‍රෛ නිකායික මහා සංඝරත්නයේ උපදෙස් අනුව ආගමික සංහිඳියාව ඇති කිරීම සඳහා ස්ථිර ආගමික සංහිඳියා මණ්ඩලයක් නීති මගින් ඇති කිරීමට තමන් කටයුතු කරන බවද, ඒ පිළිබඳව සෙසු ආගමික නායකයන් සමගද සාකච්ඡා කරන බවද අග්‍රාමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය,” යි නීතිඥ සුදර්ශන ගුණවර්ධන නිකුත් කළ ට්විටර් පණිවිඩයක සඳහන් වේ.

ඇදහිල්ල හෝ වාර්ගිකත්වය නොතකා සැමට සමව සලකන නීතියක් වෙනුවෙන් කැපවන ලෙස යුරෝපා රාජ්‍ය තාන්ත්‍රික නිවේදනය ජනාධිපති, අගමැති ඇතුළු සියලු දේශපාලන නායකයන්ගෙන් ඉල්ලා සිටී.

අගමැති - යුරෝපා හමුව පැවතියේ අතුරලියේ රතන හිමි විසින් දියත් කරන ලද උපවාසයෙන් පසු මුස්ලිම් අමාත්‍යවරුන් සාමුහිකව ඉල්ලා අස්වීමත් සමගය.

ඉල්ලා අස්වූ මුස්ලිම් අමාත්‍යවරුන්ට නැවත රජයට එක්වී තනතුරු භාරගන්නා ලෙස ඉල්ලා සිටියේ යැයි අගමැතිවරයා විදේශීය දූත මණ්ඩලයට කියා සිටි බව ද නීතිඥ ගුණවර්ධන කියා සිටී.

ශ්‍රී ලංකාවේ සිටින ප්‍රංශ, ජර්මන්, ඉතාලි, නෙදර්ලන්ත, රුමේනියාව, නෝර්වේ, ස්විට්සර්ලන්ත සහ බ්‍රිතාන්‍ය නියෝජිතයන් අගමැතිවරයා සමග සාකච්ඡාවට සහභාගි වූ බව යුරෝපා සංගමය පවසයි.