මුස්ලිම්වරුන්ට “ගල් ගැසීමට” අස්ගිරි මහනාහිමිගෙන් අනුශාසනාවක් | VIDEO

Report
439Shares

තමන් පෙනී සිටින්නේ සිංහල බෞද්ධ ජනතාව වෙනුවෙන් බව සහතික කරන දිවයිනේ ඉහලම සංඝ නායකත්වය මුස්ලිම් විරෝධී වෛරක්කාරී බණක් වදාරමින් චමල් රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්කිරීම වෙනුවෙන් ආශිර්වාද කර තිබේ.

මුස්ලිම් වෙළෙඳාම වර්ජනය කරන ලෙස සිංහල බෞද්ධ ජනතාවගෙන් ඉල්ලා සිටි අස්ගිරි මහනාහිමියෝ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ මන්ත්‍රී මයන්ත දිසානායක ද එක්ව සිටි සභාවකදී ඒ සඳහා “යහමග පෙන්වීමට” ද සහතික වූහ.

“මමත් කියනවා මුස්ලිම් කඩවලට යන්න එපා. ඒ කඩවලින් කන්න බොන්න එපා,” යි වරකාගොඩ ඤාණරතන අස්ගිරි මහනාහිමියන් දෙසා වදාළේ යටිනුවර, දියකෙළිනාව කිත්සිරිමෙවන් රජමහ විහාරස්ථානයේ විසි එක් රියන් සමාධි බුද්ධ ප්‍රතිමාව නිරාවරණය කිරීමේ උත්සවය අමතමිනි.

සිංහල කාන්තාවන් වඳ බවට පත් කළේ යයි ජනමාධ්‍ය මගින් අපහාසයට ලක් කෙරුනු මුස්ලිම් ජාතික වෛද්‍යවරයකුට ගල් ගැසීමට ඇතැමුන් කරන යෝජනාවද අස්ගිරි මහනාහිමියන් විසින් අනුමත කරන ලද්දේ “කළ යුත්තේ ඒක තමයි” යනුවෙන් පවසමිනි.

“ඔය වගේ ජාති ද්‍රෝහීන්ට නිදහසේ ඉන්න දෙන්න හොඳ නැහැ. උපාසකම්මලා වගයක් කිව්වා ගල් ගහලා මරන්න ඕනේ කියලා. මම එහෙම කියන්නේ නෑ. නුමුත් කළ යුත්තේ ඒක තමයි.”

එක්සත් ජාතික පක්ෂයේ පාලකයන් රටට ආදරේ නැතැ’යි කියා සිටි වරකාගොඩ ඤාණරතන හිමියෝ චමල් රාජපක්ෂ ජනාධිපති කරවීමට එක්වන ලෙස මයන්ත දිසානායක මන්ත්‍රීවරයාටද ආරාධනය කළහ.