මුස්ලිම් දොස්තරට නඩු දාන්න ගිය පොලිස් ලොක්කාට පොලිසියෙන්ම ලෙඩක්

Report
107Shares

සිංහල බෞද්ධ කාන්තාවන් දහස් ගණනක් වඳ කළ බවට අස්ගිරි මහනාහිමි ප්‍රමුඛ සිංහල බෞද්ධ බලවේග සහ ‘දිවයින’ පුවත්පත ඇතුළු ජනමාධ්‍ය විසින් උසාවි යාමටත් පෙර වරදකරු බවට පත් කර ඇති කුරුණෑගල රෝහලේ මුස්ලිම් ජාතික වෛද්‍යවරයකු අත් අඩංගුවට ගැනීම මෙහෙයවූ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි හෙළිවී තිබේ.

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS) විසින් හෙළිකොට ඇති පරිදි සිසේරියන් සැත්කම් සිදුකරන අතරතුර කාන්තාවන් වන්ධ්‍යකරණය, අයථා ලෙස මුදල් රැස් කිරීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ මේ මස 27 දා අධිකරණය හමුවට පැමිණවීමට නියමිත කුරුණෑගල ශික්ෂණ රෝහලේ සෙයිගු ෂිල්හාබ්ඩීන් මොහොමඩ් සාෆි වෛද්‍යවරයාට එරෙහිව නඩු දැමීමට සාක්ෂි පොලිසියට ලැබී නැත.

ඒ බව තහවුරු කරන ‘ඉකොනොමිනෙක්ස්ට්’ වෙබ් අඩවිය වාර්තා කරන පරිදි චූදිත වෛද්‍යවරයා පිළිබඳව කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්ට එරෙහිව පොලිසියම අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

වෛද්‍යවරයා අත් අඩංගුවට ගැනීම සඳහා කුරුණෑගල මුලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක පුෂ්පලාල්ට නියෝග කර ඇත්තේ කිත්සිරි ජයලත් නියෝජ්‍ය පොලිස්පතිය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියකු උපුටා දක්වමින් JDS වෙබ් අඩවිය වාර්තා කර ඇති පරිදි වෛද්‍ය සාෆිට එරෙහිව ජනමාධ්‍ය ඔස්සේ නගා ඇති සියළු චෝදනා පදනම් විරහිත මෙන්ම අසත්‍ය ඒවා ය.

මේ හේතුව නිසා, සාක්ෂි රැස් කිරීම මෙන්ම නඩු පැවරීමද ඉතා අසිරු කරුණක් වී ඇති බව පවසා ඇති පොලිස් නිලධාරියා කියා ඇත්තේ වෛද්‍ය සාෆි විසින් වන්ධ්‍යාකරණයට ලක් කළ බවට කාන්තාවන් සිය ගණනක් පැමිණිලි කර ඇතැයි මාධ්‍ය මගින් කෙරෙන ප්‍රචාර “තනිකරම බොරුවක්” බව ය.

ජනමාධ්‍ය මගින් ප්‍රසිද්ධියේ නගා ඇති චෝදනා කිසිවක් අධිකරණයක් හමුවේ ඔප්පු කළ නොහැකි ඒවා බව JDS හා කියා ඇති වෛද්‍ය සාෆිගේ නීතිඥ හිජාස් හිස්බුල්ලා පවසන්නේ පොලිසිය අවස්ථා කිහිපයකදී සඳහන් කළ එකකට, එකක් වෙනස් චෝදනා ජනමාධ්‍යයෙන් දුටුවා මිස, නිලවශයෙන් දැනුම් දී නැති බවයි.

පැලෝපීය නාල අවහිර කොට සිංහල බෞද්ධ මව්වරුන් වඳ කළ බවට වෛද්‍යවරයාට එරෙහිව මුලින්ම චෝදනා කළ ‘දිවයින’ පුවත්පතට තොරතුරු ලබා දුන්නේ තමන් බව නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් රහස් පොලිසිය හමුවේ පිළිගෙන තිබේ.

නියෝජ්‍ය පොලිස්පති 18 අඟහරුවාදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කටඋත්තරයක් ලබාදුන් බව ගගන කළ විමසීමකදී පොලිස් ප්‍රකාශක රුවන් ගුණසේකර තහවුරු කළේය.

කාන්තාවන් හාරදහසක් වඳ කළ බවට ‘දිවයින’ පුවත්පතට කියා ඇත්තේ කුරුණෑගල රෝහලේ වෛද්‍යවරියක් වන කිත්සිරි ජයලත්ගේ බිරිඳ බව එම පුවත්පතේ කතුවරයාත්, වාර්තාකරුත් පොලිසියට හෙළිකර තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය ප්‍රබලයකු වන කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂ ඒ එම් එස් වීරබණ්ඩාර පොලිස් පරීක්ෂණ වලට සහාය ලබාගැනීමට රහස් පොලිසියට අධිකරණයේ සහාය පතන්නට සිදුවී තිබේ.

පොලිස් පරීක්ෂණ වලට සහාය දෙන ලෙස රෝහලේ අධ්‍යක්ෂවරයාට නියෝග කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණ නියෝගයක් ලබාගත් බව පොලිස් ප්‍රකාශක රුවන් ගුණසේකර පැවසීය.

"අපිට දැන ගන්න ලැබිලා තියනවා රෝහල් අධ්‍යක්ෂකවරයා කුරුණෑගල ප්‍රදේශයේ කාන්තාවන්ට ලිපි යවමින් ඩොක්ටර් සාෆිට විරුද්ධව සාක්ෂි දෙන්න කියලා බලපෑම් කරනවා කියලා.” යි අත් අඩංගුවේ පසුවන වෛද්‍යවරයාගේ බිරිඳ, දොස්තර ඉමාරා සාෆි JDS හා පවසා තිබුනි.

පොලිස් පරික්ෂණ අවසන් වන්නටත් පෙර කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂ සහ එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ මාධ්‍ය හමුවක් කැඳවමින් සිය සැමියාට එරෙහිව චෝදනා නැගීම ගැන ප්‍රශ්න කර ඇති වෛද්‍ය ඉමාරා, ඇයත් ඇගේ සැමියාත් සාමාජිකත්වය දරන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඔවුන්ගේ වෘත්තීය ආරක්ෂාව වෙනුවෙන් පෙනී නොසිටීම දැඩි දෝෂ දර්ශනයට ලක් කර තිබේ.

වයස අවුරුදු දහයත් පහළොවත් අතර වයසේ පසුවන තම දරු තිදෙනා මරා දමන බවට කර තිබෙන තර්ජන හමුවේ ඔවුන් සඟවා තබන්නට සිදුවී ඇති බවත් වෛද්‍යවරිය වැඩි දුරටත් පවසා තිබේ.

යුද සමයේ බෝම්බ ප්‍රහාරවලට ගොදුරුවූ වන්නියේ රෝහල් සහ ඒවායේ සේවය කළ දෙමළ වෛද්‍යවරුන් වෙනුවෙන් ඉදිරිපත් නොවීම ගැන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එහි සාමාජිකත්වයේ හෙලා දැකීමට ලක්ව තිබුනි.

දොස්තර ශාෆිට සුවිශාල වත්කම් ඇති බවට සාක්ෂි වශයෙන් දැක්වෙන්නේ ඔහු විසින් කෝටි දහතුනහමාරකට කුරුණෑගල දේපලක් මිලදී ගැනීමයි.

වෛද්‍යවරයා තවත් තුන් දෙනකු හා එක්වී එම ඉඩම මිලදී ගෙන ඇත්තේ වටිනාකමින් භාගයකට පෞද්ගලික බැංකුවකින් ලබාගත් ණයකින් බව පරීක්ෂණ පවත්වන නිලධාරීන් විසින් හෙළිකරගෙන තිබේ.