මුස්ලිම්වරුන්ට ගල් ගැසීමට දෙසූ අස්ගිරි නාහිමියෝ භික්ෂු වගකීම පහදති | VIDEO

Report
10Shares

මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩත්වය උසි ගැන්වීමේ අනුශාසනාවක් නිසා මතබේදයට ලක්වීමෙන් අනතුරුව අස්ගිරි මහනාහිමියෝ තමන් තුල කිසිදු ජාතියක් කෙරේ වෛරයක් නැතැයි වදාරති.

“භික්ෂූන් වහන්සේලා වශයෙන් අපිට පැවරී ඇත්තේ රටත්, ජාතියත්, සම්බුද්ධ ශාසනයත් ආරක්ෂා කිරීම පමණයි,” යනුවෙන් වරකාගොඩ ඤාණරතන හිමියන් ජනමාධ්‍ය වෙත නිකුත් කළ වීඩියෝ නිවේදනයකින් පවසා තිබේ.

තමන් වෙත එල්ලවන විරෝධය මගහැරවීමට ගන්නා වෑයමක් ලෙස දිස්වන එම වීඩියෝ පටයේ ජාතිය යනුවෙන් අදහස් කෙරෙන්නේ කවර ජාතියක් දැයි උන්වහන්සේ පැහැදිලි කර නැත.

යටිනුවර, දියකෙළිනාව කිත්සිරිමෙවන් රජමහ විහාරස්ථානයේ විසි එක් රියන් සමාධි බුද්ධ ප්‍රතිමාව නිරාවරණය කිරීමේ උත්සව සභාව අමතමින් මුස්ලිම් ව්‍යාපාර වලට අනුග්‍රහය නොදක්වන ලෙස බෞද්ධ සැදැහැවතුන්ගෙන් පසුගියදා ඉල්ලා සිටි අස්ගිරි මහනාහිමියෝ මුස්ලිම් ජාතික වෛද්‍යවරයකුට ගල් ගැසීමට ඇතැමුන් කරන යෝජනාවද අනුදැන වදාළහ.

එතැනදී උන්වහන්සේ සෘජුවම සහතික කර තිබුනේ සිංහල ජාතිය වෙනුවෙන් පෙනී සිටින බවයි.

“මේ රට ආරක්ෂා වෙන්නට ඕනේ. සිංහල ජාතිය ආරක්ෂා වෙන්න ඕනේ, බෞද්ධයන් ආරක්ෂා වෙන්න ඕනේ. ඒකයි අපේ පරමාර්ථය. භික්ෂූන් වහන්සේලා කැපවෙන්නේ අපේ සිංහල ජනතාව රැක ගන්නයි. බුද්ධාගම රැක ගන්න තමයි අපි කොතනත් කතා කරන්නේ,” යි වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමියන් ප්‍රකාශ කරනු වීඩියෝ ගතවී තිබේ.

මහත් ආන්දෝලනයට තුඩුදුන් උන්වහන්සේගේ මුස්ලිම් විරෝධී ප්‍රකාශය ආණ්ඩුවේ අමාත්‍යවරුන් දෙදෙනකු ඇතුළු අන්තවාද විරෝධීන්ගේ දැඩි හෙලා දැකීමට ලක්වී තිබුනි.

සකල සත්වයාට සාමය සහ කරුණාව පතළ කරන දර්ශනයක් “තාලිබාන්කරණයක්” ලෙස මංගල සමරවීර අමාත්‍යවරයා විසින් අස්ගිරි අනඥාව හඳුන්වා දී තිබුනි.

අමාත්‍ය හර්ෂ ද සිල්වා 'ට්විටර්' පණිවුඩයක් නිකුත් කරමින් ඉල්ලා තිබුනේ, අස්ගිරි නාහිමි ප්‍රකාශය ඉල්ලා අස් කර ගත යුතු බවයි.

අස්ගිරි මහනාහිමියන් පවසන්නේ තමන් විසින් කරන ලද අනුශාසනාවේ “වැරදි අර්ථකථන හුවා දැක්වීමට ඇතැම් පිරිස් කටයුතු කරන” බවයි.

එසේ වෙතත්, මුස්ලිම් කඩ වර්ජනයට සහ වෛද්‍යවරයාට ගල් ගැසීමට උන්වහන්සේ කළ ප්‍රකාශයේ කවර අර්ථකථනය නිවැරදිදැයි අස්ගිරියෙන් මාධ්‍ය වෙත නිකුත් කරන ලද වීඩියෝවේ සඳහන් නොවේ.

කෙසේවෙතත්, රජය කෙරේ ජනතා අප්‍රසාදයක් ඇතැයි උන්වහන්සේ නැවතත් කියා සිටිති.

පාස්කු ප්‍රහාර දියත් කළ “මුස්ලිම් අන්තවාදී අතලොස්සක් නිසා අසරණ ජනතාවට සිදුවූ මහා විපත නිසා ජනතාව අතර මහා භීතියක් සහ රජය පිළිබඳව අප්‍රසාදයකුත් ගොඩනැඟී තිබෙනවා,” යි සිය අභිනව ප්‍රකාශයෙන් අස්ගිරි නාහිමියෝ වදාරා සිටිති.

“මේවාට රජය නිසි පරීක්ෂණ යොදා වැරදිකරුවන් සොයා ගෙන දඬුවම් ලබාදීමයි, ජනතාව බලාපොරොත්තු වන්නේ. එසේ නොවුණොත් ජනතාව ඒ පිළිබඳව විශාල අප්‍රසාදයක් පළ කරනවාට කිසිදු සැකයක් නැහැ. එසේ නොවුණොත් ජනතාව ඒ පිළිබඳව විශාල අප්‍රසාදයක් පළ කරනවාට කිසිදු සැකයක් නැහැ. අපි රජය කෙරෙහි වත් මුස්ලිම් ජනතාව කෙරෙහි වත් වෛරයක් නැහැ.”

දියකෙළිනාව අනුශාසනාවේදී එක්සත් ජාතික පක්ෂයේ වරදින් රට විනාශ වුනු බවට හෙලා දුටු වරකාගොඩ ඤානරතන හිමි චමල් රාජපක්ෂ ජනාධිපති කරවීම සඳහා එක්වන ලෙස එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායකට ආරාධනයක්ද කළේය.

ඒ සම්බන්ධයෙන් කිසිදු අර්ථකථනයක් අලුත් අස්ගිරි නාහිමි වීඩියෝවේ නොදැක්වේ.

වරකාගොඩ ඤානරතන මහනාහිමියන්ගේ ප්‍රකාශ රැගත් වීඩියෝ දෙකම මෙහි පලකොට ඇත.