JDS මැදිහත්වීමෙන් සත්කුමාරගේ නිදහස වෙනුවෙන් ජාත්‍යන්තර උද්ඝෝෂණයක්

Report
6Shares

කෙටිකතාවක් ලිවීම නිසා තුන්මාසයකට ආසන්න කාලයක් සිරගත කර සිටින සම්මානලාභී ලේඛක ශක්තික සත්කුමාර නිදහස් කරගැනීම වෙනුවෙන් ලෝක ව්‍යාප්ත උද්ඝෝෂණයක් දියත් කිරීමට ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS) සංවිධානය මුලපුරා තිබේ.

ලොවපුරා රටවල් සියයකට අධික සංඛ්‍යාවකට ව්‍යාප්ත වී සිටින ලන්ඩනය මුලස්ථාන කොටගත් ජාත්‍යන්තර පෙන් සංවිධානය (International PEN) මෙහෙයවාගනිමින් මේ ආරම්භ කර ඇත්තේ අත් අඩංගුවේ සිටින සිංහල ලේඛකයකු වෙනුවෙන් දියත් කෙරුනු මුල්ම ජගත් උද්ඝෝෂණයයි.

2017 අංක 56 දරණ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් සම්බන්ධ ජාත්‍යන්තර සම්මුතිය පිළිබද පනතේ (අයි.සී.සී.පී.ආර්. පනත) 3 (1) වගන්තිය හා දණ්ඩ නීති සංග්‍රහයේ 291B වගන්තිය යටතේ ආගමික ද්වේශය ඇවිස්සීම හා ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය කඩකිරීමේ චෝදනා සත්කුමාරට එරෙහිව එල්ල කර තිබේ.

අප්‍රේල් මාසයේ 1 වැනිදා පොල්ගහවෙල පොලිසිය මගින් ඔහු අත් අඩංගුවට ගන්නා ලද්දේ, ෆේස්බුක් ජාලයේ ඔහු විසින් 'අර්ධ' මැයෙන් පළ කළ කෙටි ප්‍රබන්ධයකින් බෞද්ධාගමට අපහාසයක් සිදු කළේය යන පදනම මත බෞද්ධ තොරතුරු මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ අඟුළුගහ ජිනානන්ද භික්ෂුව විසින් අයි.සී.සී.පී.ආර්. පනත යටතේ සත්කුමාර අත් අඩංගුවට ගන්නා මෙන් ඉකුත් පෙබරවාරි මාසයේදී පොලිස්පතිවරයාගෙන් කරන ලද විවෘත ඉල්ලීමක් පරිදිය.

ජාතිවාදය අවුස්සන බෞද්ධ භික්ෂුන් ප්‍රමුඛ දේශපාලකයන් ඇතුළු අන්තවාදීන් නිදැල්ලේ හැසිරෙද්දී ප්‍රබන්ධයක් ලියා පලකළ ලේඛකයකු කූඩු කර තැබීම හෙලා දකිමින් කොළඹදී ද මේ සතියේ උද්ඝෝෂණයක් පැවැත්විනි.

ශක්තික සත්කුමාර සිරගත කොට ඇත්තේ ප්‍රකාශනයේ නිදහස සාමකාමී ලෙස යොදා ගැනීම නිසා බව පෙන්වා දෙන ජාත්‍යන්තර පෙන් සංවිධානය (International PEN), ඔහු කොන්දේසි විරහිතව වහාම නිදහස් කරන ලෙස ශ්‍රී ලංකාවේ රජයට බලකර සිටියි.