මුස්ලිම් ප්‍රජාවට සිදුවන අඩන්තේට්ටම් ගැන මන්නාරමේ සාකච්ඡා | VIDEO

Report
4Shares

පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් පසු මුස්ලිම් ජනතාවට ගොදුරු වී සිටින පීඩා සම්බන්ධයෙන් මන්නාරමේ ඉහළ මට්ටමේ සාකච්ඡාවක් පවත්වා තිබේ.

මානව හිමිකම් උල්ලංඝනය වීම් වළක්වාගන්නේ කෙසේද යන්නත්, මානව හිමිකම් ක්‍රියාධාරීන් ඊට එරෙහිව මැදිහත් වන්නේ කෙසේද යන්නත් විමසුමට ලක් කෙරුනු එම සභාවට පොලිසිය හා ත්‍රිවිධ හමුදාව ඇතුළු රජයේ ප්‍රාදේශීය බලධාරීන් සහ සිවිල් සමාජ ක්‍රියාධාරීන් සහභාගී වී සිටියහ.

හදිසි නීතිය ක්‍රියාත්මක වන මෙම වකවානුවේදී මුස්ලිම්වරුන් බරපතල ලෙස අඩන්තේට්ටම් වලට මුහුණ පාන්නට සිදුවී තිබෙන බව මන්නාරම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාව මෙහෙයවූ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම කියයි.

පළාතේ මුස්ලිම් ප්‍රජාවේ සාමාජිකයන් බරපතල වෙනස්කම් පෑම් වලට ලක් වන බව හෙළිවී ඇතැයි මන්නාරමේ දී මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශකළ මානව හිමිකම් කොමසාරිස් අම්බිකා සත්කුනනාදන්, මුස්ලිම් කාන්තාවන්ට සිය සම්ප්‍රදායික ඇඳුමින් සැරසී ප්‍රසිද්ධියේ කටයුතු කිරීමට බාධා පැමිණෙන බව කියා සිටියාය.

මෑතක සිට බහුලව යොදා තිබෙන සෝදිසි මුර කපොලු වලදී මුස්ලිම් ජනතාව වැඩි පරීක්ෂාවට ලක්වීමේ හිරිහැරයට ද ලක්වී තිබෙන බව මානව හිමිකම් කොමිසම වෙත වාර්තා වී ඇත.