අස්ගිරි නාහිමියන්ගේ “ගල් ගැසීමේ” බණට විරුද්ධව පැමිණිල්ලක්

Report
5Shares

මුස්ලිම් විරෝධී බණ දේශනාවක් කළ අස්ගිරි මහනාහිමියන්ට විරුද්ධව විමර්ශනයක් පවත්වන ලෙස ඉල්ලා වැඩබලන පොලිස්පතිවරයාට පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබේ.

අස්ගිරි මහා විහාරීය වරකාගොඩ ඥානරතන නාහිමියන් විසින් ඉකුත්දා කරන ලද අනුශාසනාවකින් ජාතීන්, ජනවර්ග හා ආගම් අතර වෛරය අවුළුවා ලන බව පවසමින් පැමිණිල්ල ගොනු කර ඇත්තේ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසිනි.

මුස්ලිම් ව්‍යාපාර වර්ජනය කළ යුතු බවටත් මුස්ලිම්වරුන්ට ගල් ගසා මැරිය යුතු බවටත් මහනාහිමියන් විසින් ඉල්ලා සිටිනු ලැබුවේ මයන්ත දිසානායක මන්ත්‍රීවරයාගේද සහභාගිත්වයෙන් යටිනුවර, දියකෙළිනාවේ පැවති බෞද්ධ පින්කමකදීය.

ජනාධිපති, අගමැති හා නීතිපතිට පිටපත් සහිතව වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න වෙත යවන පැමිණිල්ලෙන් පෙන්වා දී ඇත්තේ ඥානරතන නාහිමියන්ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් පියවර ගැනීමට දණ්ඩ නීති සංග්‍රහයේ 291 (අ) වගන්තිය සහ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් සම්බන්ධ ජාත්‍යන්තර සම්මුතිය (ICCPR) පිළිබද පනතේ 3 ඡේදය යොදාගත හැකි බවයි.

“ආගමකට හෝ ආගමික විශ්වාසයන්ට අපහාස කිරීම හරහා ඕනෑම පන්තියක ආගමික හැඟීම් ප්‍රකෝප කිරීමට සිතාමතා සහ ද්වේශ සහගතව කටයුතු කිරීම” වරදක් බව පවසන දණ්ඩ නීති සංග්‍රහයේ 291 අ වගන්තිය උපුටා දක්වන විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය එවැනි අපරාධයක් සිදු කරන අයකු වසරක් දක්වා සිර දඬුවමකට හෝ දඩයකට හෝ එසේත් නැතිනම්, ඒ දෙකටම යටත් කිරීමට ප්‍රතිපාදන ඇති බව සිය පැමිණිල්ලෙන් පෙන්වා දෙයි.

ICCPR පනතේ 3 (1) වගන්තිය අනුව, "යුද්ධය පැතිරවීම හෝ වෙනස් ලෙස සැලකීමට, එදිරිවාදිකම්වලට හෝ ප්‍රචණ්ඩතා සඳහා යොමු කිරීමට තුඩු දෙන ජාතික, වාර්ගික හෝ ආගමික වෛරය සඳහා පෙළඹවීම් කිසිම තැතැත්තකු විසින් නොකළ යුතුය".

තමන් වහන්සේගේ අනුශාසනාවේ “වැරදි අර්ථකථන හුවා දැක්වීමට ඇතැම් පිරිස් කටයුතු කරන” බවට මහනාහිමි පසුව චෝදනා කර තිබුනි.

සියම් නිකායේ අස්ගිරි පාර්ශවයේ වරකාගොඩ ඥානරතන මහනාහිමියන්ගේ දියකෙළිනාවේ අනුශාසනාව පහලින්.