ගෝටාට, ෆොන්සේකාට විරුද්ධව එක්සත් ජනපදයේ යුද අපරාධ නඩු පවරන්න පුළුවන් | VIDEO

Report
2Shares

හිටපු ආරක්ෂක ලේකම් සහ හිටපු හමුදාපති දෙදෙනාටම එරෙහිව එල්ලවන යුද අපරාධ ඇතුළු බරපතල මානව හිමිකම් උල්ලංඝන චෝදනා සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ නඩු පැවරිය හැකි බව එරට මානව හිමිකම් විමර්ශනයකදී හෙළිවී තිබේ.

විදේශයක කරන ලද යුද අපරාධ ඇතුළු සාපරාධී කටයුතු සම්බන්ධයෙන් තම රටේ පුරවැසියන්ට නැගෙන චෝදනා විභාග කිරීමට අවශ්‍ය බලතල ඔවුන් සතුව ඇති බව එක්සත් ජනපද රජයේ ඉහලම නීතිවේදියෙක් කොන්ග්‍රස් මණ්ඩල විමර්ශනයකදී කියා සිටියේය.

“යුද අපරාධ, වර්ග සංහාරය, වධහිංසා, ළමා සොල්දාදුවන්... සම්බන්ධයෙන් අපට එක්සත් ජනපද පුරවැසියන්ට අදාලව අධිකරණ බලතල තිබේ,” යයි අධිකරණ දෙපාර්තමේන්තුවේ, අපරාධ අංශයේ නියෝජ්‍ය සහකාර නීතිපති ඩේවිඩ් රිබිකි ප්‍රකාශ කළේය.

“වෙනත් රටකදී වධහිංසා සිදුකළ එක්සත් ජනපද පුරවැසියන්ට එරෙහිව නඩු පැවරීමට හැකි පරිදි කොන්ග්‍රසය අපිට නීතිමය ප්‍රතිපාදන සලසා දී තිබේ.”

සහකාර නීතිපතිවරයා ඒ පිලිබඳ විස්තර කළේ ශ්‍රී ලංකාවේදී මහා පරිමාන අපරාධ කිරීමේ චෝදනා වලට මුහුණ පා සිටින ගෝඨාභය රාජපක්ෂ එක්සත් ජනපද පුරවැසියකු වන අතර සරත් ෆොන්සේකා හරිත පත්‍රිකා (ග්‍රීන් කාඩ්) ලාභියකු බව කොන්ග්‍රස් මානව හිමිකම් කමිටුවක සම සභාපති ජිම් මැක්ගවර්න් විසින් පෙන්වා දෙනු ලැබීමෙන් අනතුරුවයි.

“ඔහු හෝ ඇය එක්සත් ජනපද පුරවැසියකු සහ ග්‍රීන් කාඩ් හිමියකු වූ කළ, අපරාධකරුවන් වගවීමෙන් බැඳ තැබීමට අධිකරණ දෙපාර්තමේන්තුව සහ ස්වදේශාරක්ශාව පිලිබඳ දෙපාර්තමේන්තුව කවර පියවර ගන්නේදැයි,” ජිම් මැක්ගවර්න් ශ්‍රී ලංකාවට අදාලව ප්‍රශ්න කළේ යුද අපරාධ ඇතුළු මහා පරිමාන අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලබන්නන් ට එරෙහි නීති දැඩි කිරීම අරමුණු කොටගත් ටොම් ලැන්ටෝස් මානව හිමිකම් විමර්ශනයේදීය.

හිටපු ලයිබීරියානු ඒකාධිපති පාලක චාර්ල්ස් ටේලර් ගේ පුත් එක්සත් ජනපද පුරවැසි චකී ටේලර් ට නඩු පවරා අවුරුදු 97 කට හිරගත කිරීම විදේශයක මානව හිමිකම් උල්ලංඝනය කළ අයකුට එරෙහිව පියවර ගැනීම සම්බන්ධ උදාහරණයක් ලෙස නියෝජ්‍ය සහකාර නීතිපති ඩේවිඩ් රිබිකි කොන්ග්‍රස් කමිටුව හමුවේ පෙන්වා දුන්නේය.