මුස්ලිම් විරෝධී ක්‍රියා ගැන ජනපතිට, අගමැතිට ඉස්ලාම් බලවතුන්ගෙන් ප්‍රශ්න | VIDEO

Report
2Shares

අස්ගිරි මහනාහිමි ඇතුළු භික්ෂුන් මෙන්ම මුල් පෙලේ දේශපාලකයන්ද මුස්ලිම්වරුන්ට එරෙහිව සිදුකරන අඩන්තේට්ටම් වැලැක්වීම සඳහා ගන්නා පියවර සම්බන්ධයෙන් ජාත්‍යන්තර ඉස්ලාමීය බලවතුන් ශ්‍රී ලංකාවේ පාලකයන්ගෙන් විමසා තිබේ.

පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරයෙන් පසු ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාවට මුහුණ පාන්නට සිදුවී ඇති වාචික හා ශාරීරික ප්‍රචණ්ඩතා සම්බන්ධයෙන් සැලකිලිමත් වන ඉස්ලාමීය සහයෝගිතා සංවිධානයට අයත් රටවල (OIC) දූත මණ්ඩලයක් සමග පැවති කොළඹ පැවති විශේෂ සාකච්ඡාවකදී “රටේ සෑම පුරවැසියෙකුගේම ගරුත්වය සහ ආරක්ෂාව තහවුරු කෙරෙන වැඩපිළිවෙළක්” ක්‍රියාත්මක කරන බවට සහතිකයක් ලබාදුන් බව ජනාධිපතිවරයා පවසයි.

අස්ගිරි මහනාහිමියන්ගේ මුස්ලිම්වරුන්ට ගල් ගැසීමේ අනුශාසනාව සම්බන්ධයෙන්ද ඉස්ලාමීය රටවල දූත මණ්ඩලය ජනාධිපතිවරයාගේත්, අගමැතිවරයාගේත් අවධානය යොමු කර ඇත්තේ වෙන්නප්පුවේ ප්‍රාදේශීය සභා සභාපතිවරයා මුස්ලිම් වෙළෙන්දන්ට දන්කොටුව සතිපොළ තහනම් කර දෙදිනක් ගතවෙද්දීය.

“ඇතැම් ජ්‍යෙෂ්ඨ දේශපාලකයන් සහ පූජක පක්ෂයේ ඇතැමකු කරන වෛරී ප්‍රකාශ හමුවේ මුස්ලිම් ප්‍රජාවේ ආරක්ෂාව සලසා දෙන ලෙස ඔවුහු බලකර සිටියහ,” යි හමුවෙන් අනතුරුව ජනාධිපති මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.

“මැතිවරණයක් ලං වීමත් සමග පවත්නා දේශපාලන තත්වය හමුවේ සමහර කණ්ඩායම් මෙවැනි ප්‍රකාශ කරන” බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන දූත මණ්ඩලය හා පවසා තිබේ.

තුර්කිය, මැලේසියාව, පකිස්ථානය, එක්සත් අරාබි රාජ්‍යය, ඇෆ්ගනිස්ථානය, ඉන්දුනිසියාව, සවුදි අරාබිය, පලස්තීනය, බංග්ලාදේශය, කුවේට්, කටාර්, මාලදිවයින, ඉරාකය, ලිබියාව, ඉරානය සහ ඕමානය යන රටවල් නියෝජනය කරන තානාපතිවරු සහ මහකොමසාරිස්වරු ජනාධිපති හා අගමැති හමුවීමට ගොස් තිබුනි.

මුස්ලිම් විරෝධී ප්‍රහාර දේශපාලනික වශයෙන් මෙහෙයවන බවට බරපතල අවධානය යොමුකළ ඉස්ලාමීය රටවල් මේ මාසය මුල නිවේදනයක් නිකුත් කරමින්, මුස්ලිම් වරුන් ඉලක්ක කරගත් ප්‍රචණ්ඩ ක්‍රියා කලාපීය මෙන්ම ගෝලීය බලපෑමක් කරනු ඇති බවට අනතුරු අඟවා තිබුනි.

ශ්‍රී ලංකාවේ සුළුතර ආගමිකයන්ගේත් යුද්ධයෙන් පීඩාවට පත් දෙමළ ජනතාවගේත් අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා කඩිනමින් මැදිහත්වන ලෙස එක්සත් ජනපද ආණ්ඩුවේත් විපක්ෂයේත් මන්ත්‍රීවරුන් කණ්ඩායමක් රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කර තිබුනි.

පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරයෙන් පසු ආරක්ෂක අංශ ඇතුළු රජයේ නිලධාරීන් මෙන්ම, පුද්ගලික අංශ සහ ජනමාධ්‍යද මුස්ලිම් ජනතාව පීඩාවටත්, අවමානයටත් පත්වන ආකාරයෙන් වෙනස්කම් පෑම ගැන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම නිවේදන ගණනාවක් නිකුත් කර ඇත.