සියයකට වැඩි ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී සංවිධාන ජනාධිපතිගේ එල්ලුම් ගහ හෙලා දකී

Report
2Shares

මරණීය දණ්ඩනය නැවත ක්‍රියාත්මක කිරීමට එරෙහි වන්නන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ලෙස ජනාධිපතිවරයාගේ චෝදනාවට ලක්වෙද්දී මත් විරෝධී ජගත් සංවිධාන ගණනාවක් එල්ලුම්ගහට විරෝධය පළකර තිබේ.

ඒ සමගම මුල් පෙලේ දේශීය විද්වතුන් හා සංවිධාන 12 ක් විසින් ජනාධිපතිවරයාගේ පෝරකය ක්‍රියා විරහිත කරනු පිණිස අධිකරණයේ සහාය පතා තිබේ.

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාගේ මාරාන්තික අභිප්‍රාය නවත්වන ලෙස බලකරන මෙන් සියයකට අධික සංවිධාන සමූහයක් ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය පාලන අධිකාරියේ (INCB) සභාපති වරයාට යවන සංදේශයකින් ඉල්ලා

සංවිධාන 116 ක දායකත්වයෙන් යුත් සංදේශය සංවිධානය කොට ඇත්තේ මත්ද්‍රව්‍ය භාවිතය සහ මත්ද්‍රව්‍ය ප්‍රතිපත්ති මගින් සෞඛ්‍යයට, සමාජයට හා නීතියට ඇතිකෙරෙන නිශේධනීය බලපෑම අඩුකිරීම සඳහා කැපවී සිටින හාර්ම් රිඩක්ෂන් ජාත්‍යන්තරය (Harm Reduction International) යි.

මත්ද්‍රව්‍ය විරෝධී එක්සත් ජාතීන්ගේ සම්මුති ලොව පුරා ක්‍රියාවේ යෙදැවෙන ආකාරය අධීක්ෂණය කිරීමේ වගකීම පැවරී ඇත්තේ ඔස්ට්‍රියාවේ වියනා අගනුවර මුලස්ථාන කොටගත් INCB සංවිධානයටයි.

INCB නියෝජිතයන් කොළඹදී : 2019 අප්‍රේල්

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ගේ මානව විරෝධී පිළිවෙත හමුවේ “නිහඬව නො ඉන්නා” ලෙස සංදේශයට අත්සන් තැබූ සංවිධාන ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය පාලන අධිකාරියේ සභාපති කොර්නේලියස් ජොන්කියර් ගෙන් ඉල්ලා සිටී.

“ශ්‍රී ලංකාව 43 අවුරුද්දක් තිස්සේ පවත්වාගෙන ගිය මරණ දණ්ඩන ක්‍රියාත්මක නොකිරීමට නිම කිරීම ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ප්‍රතිපත්තියේ කේන්ද්‍රීය මූලධර්මයක් ලෙස මානව හිමිකම් රැකීම සඳහා INCB සංවිධානයේ ඇති කැපවීම ට දැඩි පහරක් එල්ල කරයි,” යනුවෙන් හාර්ම් රිඩක්ෂන් ජාත්‍යන්තරයේ විධායක අධ්‍යක්ෂිකා නයෝමි බර්ක්-ෂයින් ගේ අත්සනින් යවන ලද ලිපියේ සඳහන් වෙයි.

“මේ නිසා, මත්ද්‍රව්‍යවලට අදාළ අපරාධ සම්බන්ධයෙන් වරදකරුවන් වී සිටින සිරකරුවන් මරණයට යැවීම වහාම අත්හිටුවන ලෙසත්, දැනට නියම වී ඇති මරණ දඬුවම් සියල්ල වෙනත් දඬුවමකට මාරුකර, මරණිය දණ්ඩනය අහොසී කරන හැකි ඉතාමත් දැඩිම ආකාරයෙන් ලෙස ශ්‍රී ලංකාවේ බලධාරීන්ගෙන් ප්‍රසිද්ධියේ ඉල්ලා සිටින ලෙස අපි INCB වෙත බලකර සිටින්නෙමු.”

මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි කරුවන් මරා දැමීම ජාත්‍යන්තර මානව හිමිකම් නීතියට පටහැනි බව සංදේශයට අත්සන් තබා ඇති සංවිධාන 116 INCB නායකත්වයට සිහිපත් කර දෙයි.

ශ්‍රී ලංකාව පාර්ශවකරුවකු වී සිටින මත්ද්‍රව්‍ය විරෝධී ජාත්‍යන්තර සම්මුති ක්‍රියාත්මක කිරීම අධීක්ෂණය කිරීම සඳහා මහාචාර්ය රිචඩ් මැටික් ප්‍රමුඛ INCB නියෝජිත මණ්ඩලයක් පසුගිය අප්‍රේල් මාසයේ ශ්‍රී ලංකාවට පැමිණ ජාතික අන්තරායකාර ඖෂධ පාලන මණ්ඩලය ඇතුළු බලධාරීන් සමග නිල සාකච්ඡා පවත්වා තිබුනි.