“සම්බන්ධන්ගේ ප්‍රකාශ විකෘති කරන්න එපා” සිංහල මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලීමක් | VIDEO

Report
5Shares

ඉල්ලීම් ඉටු නොවුනොත් දෙමළ ජනතාව ආයුධ සන්නද්ධ වනු ඇතැයි දෙමළ ජාතික සන්ධාන නායකයා ප්‍රකාශ කළ බවට විකෘති ප්‍රවෘත්ති පල නොකරන ලෙස ජාතික ඒකාබද්ධතාවය භාර අමාත්‍යවරයා සිංහල මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලීමක් කළේය.

එල්ටීටීඊ සංවිධානය ක්‍රියාත්මක වන සමයේ සාකච්ඡා කිරීමට ඉදිරිපත් වූ ආණ්ඩු ආයුධ බලයක් නොමැති අවස්ථාවක දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳීමට මැලි කමක් දක්වන බව හිටපු විපක්ෂ නායකයා සති අන්තයේ යාපනයේ වීරසිංහම් ශාලාවේ පැවති ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK) මහ සමුළුවේදී පවසා තිබුනි.

“අපට ආයුධ නැති වූ පලියට රවට්ටන්න පුළුවන් කියා හිතන්න එපා,” යැයි කී ආර් සම්බන්ධන් මන්ත්‍රීවරයා “ආයුධ බලයක් තිබුනොත් විතරද කතා කරන්නේ” යනුවෙන් කලකිරීමෙන් යුතුව පාලකයන්ගෙන් විමසා සිටියේය.

හිටපු විපක්ෂ නායකයා දෙමළ බසින් කළ ප්‍රකාශය “ඉල්ලීම් දුන්නේ නැතිනම් දෙමළ ජනතාව ආයුධ ගනීවී” යනුවෙන් සිංහල මාධ්‍යවේදියකු කළ පරිවර්තනය විකෘති කිරීමක් ලෙස ජාතික ඒකාබද්ධතා අමාත්‍ය මනෝ ගනේෂන් විසින් ප්‍රතික්ෂේප කරන ලදී.

සන්නද්ධ අරගලය ප්‍රතික්ෂේප කර දෙමළ ජනතාවගේ ඉල්ලීම් දිනාගැනීමේ බලාපොරොත්තුව සුන්වූ වියපත් ආර් සම්බන්ධන් මන්ත්‍රීවරයා කළ කතාව විකෘති නොකරන ලෙස රාජ්‍ය භාෂා කටයුතුද භාරව සිටින අමාත්‍යවරයා මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටියේය.

“එතුමාගේ බලාපොරොත්තුව සුනේ සුන් වුනා,” යි කී අමාත්‍ය මනෝ ගනේෂන් විපක්ෂ නායක කම බාර ගනිමින් දෙමළ ජාතික සන්ධාන නායකයා පෙන්වා දුන්නේ වෙනම රාජ්‍ය සංකල්පය අතහැර ශ්‍රී ලාංකික රාජ්‍යයට ඇතුල් වීම යැයි ජනතාව තේරුම් නොගැනීම ගැන කනස්සල්ල පල කළේය.

“මොනවද අපි දුන්නේ? මුකුත් නෑ. හිස් අතින් තමයි අපි යැව්වේ උතුරු නැගෙනහිරට.”

දෙමළ ජනතාව සන්නද්ධ අරගලය ප්‍රතික්ෂේප කරන බවද ඔහු අවධාරණය කළේය.

“උතුරු නැගෙනහිර සන්නද්ධ අරගලයක් ගැන කතා කළා නම්, නැත්නම් වෙනම රටක් සංකල්පය ගැන කතා කළා නම් මිනිස්සු පොලු අරගෙන ගහලා පන්නයි.”

මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සම්බන්ධ නීති පාර්ලිමේන්තුවෙන් වෙනස් කරගත හැකි බවට විශ්වාසය පලකළ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය මනෝ ගනේෂන් “දිනන බඩුවක්, කොලපාට බඩුවක්” ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කරන බවද මාධ්‍යවේදීන් හා කියා සිටියේය.