නීති විරෝධී අත්අඩංගුවට ගැනීම් ගැන පොලිස් ලොක්කාට අවවාද

Report
3Shares

පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් පසු හිතුමතේ සිදුකරන නීතිවිරෝධී අත් අඩංගුවට ගැනීම් නවත්වන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම රටේ පොලිස් ප්‍රධානියාට අවවාද කර තිබේ.

“කටකතා මත පමණක් පදනම් වී අත් අඩංගුවට නොගත යුතුයි” යනුවෙන් කොමිසම වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්නට ලියා ඇති ලිපියක සඳහන් වෙයි.

“නීති විරෝධී අත් අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් කොමිසමට මෑතදී පැමිණිළි ගණනාවක්ම ලැබී ඇතැ,” යි ලියන සභාපතිනි දීපිකා උඩගම, ඒ පැමිණිලි වල සඳහන් පරිදි ඇතැම් අත් අඩංගුවට ගැනීම් “සංස්කෘතික වරදවා වටහා ගැනීම්” හෝ අවිනිශ්චිත භාවය හෝ හේතුකොටගෙන ද, තවත් ඒවා මහජනතාව සැක පහල කිරීම නිසාද සිදු කර ඇතැ’යි පවසන්නීය.

පොලිසිය අත් අඩංගුවට ගත් 'අවුස්සන සුලු' මෝස්තරය

“උදාහරණයක් ලෙස ගතහොත්, එක් කාන්තාවක් අත් අඩංගුවට ගෙන ඇත්තේ ඇගේ ඇඳුමේ තිබූ ලාංඡනයක් අවුස්සන සුලුයැයි උපකල්පනය කිරීම නිසාය; තවත් අවස්ථාවල අරාබි ග්‍රන්ථ ළඟ තබා ගැනීම නිසා පුද්ගලයන් අත් අඩංගුවට ගෙන ඇත්තේ ඒවායේ අන්තර්ගතය කුමක්දැයි නිර්ණය නොකර ය. මහජන බලපෑම් නිසාද පුද්ගලයන් අත් අඩංගුවට ගෙන තිබේ; එක් වෙළෙන්දකු විසින් විකුණන ලද ඇඳුම් වර්ගයකට ඔහු විෂ ද්‍රව්‍යයක් උලා තිබුනැ’යි ඇතැම් පුද්ගලයන් බිය වැදී සිටීම නිසා කරන ලද අත් අඩංගුවට ගැනීම එවැන්නකි.”

අත් අඩංගුවට ගත් පසු පොලිස් පරීක්ෂණ පැවැත්වීමද ආචාර්ය උඩගම වැඩබලන පොලිස්පති වරයාගේ අවධානයට යොමුකර තිබේ.

මානව හිමිකම් කොමසාරිස්වරිය තම ලිපිය ලියා ඇත්තේ පාස්කු ප්‍රහාරය වැළක්වීමට අසමත් වීමේ චෝදනා නගා වැඩ තහනම් පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් ගත කිරීමත් සමගය.

“මානව වර්ගයාට එරෙහි” අපරාධ ගනයේ ලා සැලකිය හැකි එම නොසැලකිල්ල නිසා ඔවුන් දෙදෙනාට මිනීමැරුම් චෝදනා වලටද මුහුණ දීමට සිදුවනු ඇති බව නීතිපති දප්පුල ද ලිවේරා පවසා තිබේ.

මෑතදී මහත් ආන්දෝලනයට තුඩුදුන් කුරුණෑගල ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍ය නිලධාරී මොහොමඩ් ශාෆි සම්බන්ධ පොලිස් පරීක්ෂණද පැවැත්වුනේ ජනමාධ්‍ය සහ බෞද්ධ භික්ෂුන් වහන්සේ විසින් එල්ල කරන ලද “වඳ සැත්කම්” චෝදනාවලට ඔහු අත් අඩංගුවට ගැනීමෙන් අනතුරුව බව අධිකරණයේදී හෙළි විය.

රහස් පොලිසිය පිටු 210 ක වාර්තාවක් ඉදිරිපත් කරමින් කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට පසුගිය 27 දා වාර්තා කළ පරිදි වෛද්‍යවරයාට එරෙහි චෝදනා සනාථ කිරීමට සාක්ෂි නැත.

පාස්කු සමුලඝාතනයෙන් අනතුරුව ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගෙන ඇති සැමදෙනාම පාහේ මුස්ලිම්වරුන් බව යුද හමුදාපති මහේෂ් සේනානායක තහවුරු කර ඇත.

පොලිස් ප්‍රකාශක රුවන් ගුණසේකර ජූනි මාසයේ මාධ්‍යවේදීන්ට කියා සිටියේ පාස්කු ප්‍රහාරයට සැකපිට අත් අඩංගුවට ගන්නා ලද 423 ක් රිමාන්ඩ් ගත කර සිටින අතර තවත් 211 ක් වෙනත් පොලිස් ස්ථානවල රඳවාගෙන ප්‍රශ්න කරනු ලැබේ.

අත් අඩංගුවට ගැනීම නීත්‍යානුකුල වීම සඳහා පිළිපැදිය යුතු චර්යාධර්ම කිහිපයක් මානව හිමිකම් කොමිසම් ලිපියෙන් පොලිසියට නිර්දේශ කෙරේ.