ජනාධිපතිගේ එල්ලුම් ගහට බුදුන් උපන් දේශයේ විරෝධය | VIDEO

Report
6Shares

බුද්ධාගමට මුල් තැන දෙන ව්‍යවස්ථාවක් අනුව රට කරවන ශ්‍රී ලංකාවේ මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීමේ ජනාධිපති සැලසුම් හකුලා ගන්නා මෙන් බලකරමින් බුදුරජාණන් වහන්සේ ජන්ම ලාභය ලැබූ දේශයෙන් මුල්ම ජාත්‍යන්තර ජනතා විරෝධතාව දියත් වී තිබේ.

ඇම්නස්ටි ජාත්‍යන්තරයේ නේපාල ශාඛාවේ මෙහෙයවීමෙන් මානව හිමිකම් සංවිධාන ගණනාවක් එක්ව කත්මන්ඩු අගනුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිට පවත්වන ලද උද්ඝෝෂණයකින් අනතුරුව සිය විරෝධය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වෙත ලියා දන්වන සංදේශයක්ද ක්‍රියාධාරීන් විසින් තානාපතිනි ස්වර්ණා පෙරේරා වෙත භාර දෙන ලදී.

“කුරිරු හා අමානුෂික මරණ දඬුවම යොදා ගැනීම නූතන සමාජය ලැජ්ජාවට පත් කරන්නකි,” යි එම සංදේශයේ දැක්වේ.

“මරණ දඬුවම දුප්පත් ජනතාවට ආසාධාරණ ලෙසින් බලපානු පමණක් නොව, අහිංසක පුද්ගලයන් ගොදුරු කරගැනීමේ ඉඩකඩද වැඩි කරයි.”

මානව හිමිකම් රැකීම සඳහා වන ජාත්‍යන්තර වගකීම් ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට සිහිපත් කරදීම ද තම උද්ඝෝෂණයේ එක් අරමුණක් බව නේපාල ඇම්නස්ටිය පවසයි.

බුද්ධෝත්පත්තිය සිදුවූ බවට විශ්වාසයෙන් ශ්‍රී ලාංකිකයන් වන්දනා ගමන් යන ලුම්බිණි සාල වන අඩවිය පිහිටා ඇත්තේ සියයට 80 කට වැඩි හින්දු බැතිමතුන් ජිවත් වන නේපාලයේය.