අත් අඩංගුවට ගත් LTTE සාමාජිකයන් පිළිබඳ වගකීමෙන් ගැලවීමට හමුදාව වෙර දරයි

Report
6Shares

හමුදා අත් අඩංගුවේ පසුවන LTTE සෙබලියන් සමග මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු හමුදා නිලධාරින් කණ්ඩායමක් සිටින මේ ඡායාරුපය 2009 දී ගන්නා ලද්දකි

යුද්ධාවසානයේ රජයේ ආරක්ෂක අංශ වලට බාර වීමෙන් පසු ආගිය අතක් නොමැති විමුක්ති කොටි සාමාජිකයන් පිළිබඳ වගකීමෙන් ගැලවීම පිණිස ශ්‍රී ලංකා යුද හමුදාව දරන උත්සාහයක් හෙළිවී තිබේ.

තම සමීපතමයන්ගේ ඉරණම හෙළි කරගැනීම සඳහා අඛණ්ඩ අරගලයක නිරත වී සිටින උතුරු නැගෙනහිර අම්මාවරුන්ට වේදනාකාරී පහරක් එල්ල කරමින් ශ්‍රී ලංකා යුද හමුදාව පවසා ඇත්තේ කිසිම LTTE සාමාජිකයකු තමන්ට බාර වුනේ නැති බවයි.

ප්‍රසිද්ධියේ කරන ලද නිවේදනයකට අවනත වෙමින් දූ දරුවන් ඇතුළු තම නෑසියන් 2009 මැයි මාසයේදී මුලතිව්හි වට්ටුවාහල් පාලම ඇතුළු ස්ථානවලදී ආරක්ෂක හමුදා අත් අඩංගුවට දුන් ආකාරය දින 900 කට ආසන්න කාලයක් උතුරේ වීදිවල විරෝධතා පවත්වන අතුරුදහන් වූවන්ගේ ගිය ආණ්ඩුවෙත් මේ ආණ්ඩුවේත් කොමිසම් ඇතුළු විවිධාකාරයේ බලධාරීන්ට කිහිප වතාවක්ම තොරතුරු ලබා දී තිබේ.

බාර වූ වැඩි දෙනකු LTTE සංවිධානයේ සන්නද්ධ අංශයේ හෝ පරිපාලන සේවාවේ සාමාජිකයෝ වෙති.

දෙමළ මාධ්‍යවේදියකු විසින් තොරතුරු දැනගැනීමේ අයිතිය යොදාගනිමින් ඔවුන් පිළිබඳව කරන ලද විමසීමකට යුද හමුදා මුලස්ථානය දී ඇති අපූර්ව පිළිතුරකින් කියැවෙන්නේ විමුක්ති කොටි සාමාජිකයන් “රජයට” මිස යුද හමුදාවට බාර වී නැති බවයි.

“අවසාන යුධ කාලවකවානුවේදී එල්ටීටීඊ සාමාජිකයන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙත භාරවී නොමැති අතර, ශ්‍රී ලංකා රජය වෙත භාරවී ඇත,” යි තොරතුරු නිලධාරී වශයෙන් කටයුතු කරන යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු ටැමිල් මිරර් මාධ්‍යවේදී පී නිරෝෂ් කුමාර් වෙත ලිපියකින් දැනුම් දී ඇත.

“භාර වූ එල්ටීටීඊ සාමාජිකයන් සබැඳිව ක්‍රියාකිරීමට බලයලත් ආයතනය වන්නේ පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල් කාර්යංශය (Bureau of the Commissioner General of Rehabilitation) බැවින් අපේක්ෂිත තොරතුරු එම ස්ථානයෙන් ලබාගන්නා ලෙස කාරුණිකව දන්වා සිටිමි,” යි ගගන විසින් දැක ඇති එම ලිපියේ සඳහන් වේ.

අවුරුදු දහයකට පෙර යුද්ධය අවසන් වීමෙන් පසු මුල්ම වතාවට ශ්‍රී ලංකා යුද හමුදාව එවැනි ප්‍රකාශයක් කර ඇත්තේ කොටි සංවිධානයේ දහස් ගණනක් රජයේ ආරක්ෂක අංශ විසින් අත් අඩංගුවට ගෙන පසුව පුනරුත්ථාපනය කරන ලද බව යුද සමයේ ආරක්ෂක ලේකම් ඇතුළු ඉහළ බලධාරීන් කිහිප වාරයක් කියා තිබියදීය.

යුද සමයේ දී යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ රාජකාරි කළ වර්තමාන හමුදා ප්‍රකාශකයාගේ කරුනු දැක්වීමට පරස්පරව එවක ආරක්ෂක ලේකම් කියා ඇති පරිදි පුනරුත්ථාපනය සඳහා යවා ඇත්තේ යුද හමුදාවට බාරවූ අයයි.

LTTE සාමාජිකයන් 11, 800 ක පමණ පිරිසක් ආරක්ෂක හමුදා වෙත බාර වූ බව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ 2013 දී කොළඹදී මාධ්‍යවේදීන්ට පවසා තිබුනි.

මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ අමාත්‍යවරුන් දෙදෙනකු වන එස්බී දිසානායක සහ ඩිලාන් පෙරේරා 2018 දී ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබූ පරිදි යුද්ධයේ අවසාන වකවානුවේ යුද හමුදාවට බාර වූ විමුක්ති කොටි සටන්කරුවන් මෙන්ම සාමාන්‍ය වැසියන්ද මරා දමා තිබේ.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් පත් කරන ලද අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය (OMP) ද පිළිගන්නේ යුද හමුදාවට බාරවූ විශාල ජනකායක් අතුරුදහන් වී ඇති බවයි.

හමුදා අත් අඩංගුවේදී අතුරුදහන් වුවන් සොයා ගැනීම තම කාර්යාලය ප්‍රමුඛතාවයෙහි ලා සලකන බව පවසන OMP සභාපති සාලිය පීරිස් බාරවුවන්ගේ ලැයිස්තු බලධාරීන්ගෙන් ඉල්ලා ඇති බව කියා තිබේ.

කෙසේ වෙතත්, එම තොරතුරු ලැබුනු බවක් වාර්තා වී නොමැත.

යුද අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලබන සන්නද්ධ සේනා බලඇණි අතරින් එකක් වන 58 වැනි බලකාය සතුව බාර වුවන්ගේ ලැයිස්තුවක් ඇති බව එම බලකායේ වර්තමාන අණදෙන නිලධාරී මේජර් ජෙනරාල් කාවින්ද චානක්‍ය ගුණවර්ධන මුලතිව් මහේස්ත්‍රාත් වරයාට 2016 දී දැනුම් දී තිබුනි.

ඒ ලියවිල්ල ඉදිරිපත් කිරීමට ඔහු අසමත් වූ අතර යුද සමයේ එම බලකායට අණ දුන් මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අධිකරණයට කැඳවන ලෙස අතුරුදහන් වුවන්ගේ ඥාතීන් කළ ඉල්ලීම රජය සහ අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරන ලදී.

අතුරුදහන් වූවන් සොයන ඥාතීන්තම සමීපතමයන් හමුදාවට බාර දුන් වට්ටුවාහල් පාලම මත අවුරුදු දහයකට පසු

යුද්ධයෙන් අනතුරුව හමුදාපති ධුරයේ රාජකාරි කළ ලුතිනන් ජෙනරාල් ජගත් ජයසූරිය විසින් පසු කලෙක හමුදාපති වූ මේජර් ජෙනරාල් ක්‍රිශාන්ත සිල්වාගේ ප්‍රධානත්වයෙන් 2012 දී පිහිටුවන ලද පංච පුද්ගල පරීක්ෂණ මණ්ඩලයක් ද යුද හමුදාව LTTE සාමාජිකයන් අත් අඩංගුවේ තබාගත් බව පිළිගෙන තිබේ.

“සාමාන්‍ය වැසියන් සහ අල්ලාගත්/ බාරවූ LTTE කේඩරයන් ඇතුළු සියලු දෙනාටම හානියක් සිදුවීම වැලැක්වීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව මහත්සේ විස්තීර්ණ වූ පියවර ගනිමින් වෘත්තීයමය ආකාරයෙන් කටයුතු කර තිබේ,” යි අවසාන පරීක්ෂණ මණ්ඩල වාර්තාව සඳහන් කරයි.

රාජපක්ෂ පාලනය විසින් පිහිටුවන ලද උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසම (LLRC) විසින් 2011 දී වාර්තා කළ පරිදි යුද්ධයේ අවසාන දවස්වලදී යුද හමුදාවට බාරවී අතුරුදහන් වූ LTTE භට සංඛ්‍යාව 53 කි.

OMP කාර්යාලය ගණන් බලා ඇති පරිදි උතුරු නැගෙනහිරින් අතුරුදහන් වූ සංඛ්‍යාව විසි එක් දාහකි.

ශ්‍රී ලංකාවේ යුද්ධයේ සිදුවූ බරපතල මානව හිමිකම් උල්ලංඝන සම්බන්ධයෙන් විභාග කළ එක්සත් ජාතීන්ගේ වාර්තාවක නිගමනය වූයේ අත් අඩංගුවට ගන්නා ලද LTTE සාමාජිකයන් මරා දමන ලද බවට විශ්වාස කිරීමට ප්‍රමාණවත් තොරතුරු ඇති බවයි.

එම තොරතුරු මත පදනම් වී එක්සත් ජාතීන් හමුවේ ගිවිසගත් පරිදි යුක්තිය ඉටු කිරීම සඳහා විදේශීය විනිශ්චයකාරයන්ද ඇතුලත් කොට පිහිටුවන බවට ශ්‍රී ලංකාවේ ආණ්ඩුව පොරොන්දු වූ අධිකරණ ක්‍රියාදාමය මේතාක් ආරම්භ කර නැත.

ශ්‍රී ලංකාවේ අධිකරණ ක්‍රියාදාමය මගින් යුක්තිය ඉටුවීම කෙරේ සැක පල කරන අතුරුදහන් වූවන්ගේ ඥාතීන් ඇතුළු යුද පීඩිත දෙමළ ජනතාව ඉල්ලා සිටින්නේ ජාත්‍යන්තර විනිශ්චයකි.