අක්මීමන පාසල් භූමියේ ඝාතනය: “තවදුරටත් හමුදා ආරක්ෂාව අවශ්‍යද?” | VIDEO

Report
4Shares

පාසල් භූමියකදී හමුදා වෙඩි පහරින් තුන්දරු පියකු ඝාතනය වීමට වගකිව යුත්තේ ආරක්ෂාව සඳහා සන්නද්ධ භටයන් යොදා ගැනීමට තීරණය කළ බලධාරීන් බව පවසන දිවයිනේ ප්‍රධාන පෙලේ ගුරු සමිතියක් පාසල් අසල ගිනි අවි යෙදැවීම නතර කරන ලෙස ඉල්ලා සිටී.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් අනතුරුව මතුවූ අනාරක්ෂිත තත්වය පහව ගොස් ඇති බව දේශපාලන හා ආරක්ෂක බලධාරීන් ප්‍රකාශ කර තිබියදී “ප්‍රශ්නේ ඉවර නම් තවදුරටත් ආයුධ මොකටදැ,” යි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් වරයා ප්‍රශ්න කරයි.

“මේ සිද්ධිය හරහා තවදුරටත් හමුදාව ආරක්ෂාවට ඕනෙද කියන ප්‍රශ්නේ මතුවෙනවා,” යි ගුරු සංගම් ලේකම් ජෝසප් ස්ටාලින් ප්‍රකාශ කළේය.

ගාල්ල අක්මීමන මානවිල උපනන්ද කනිෂ්ඨ විද්‍යාලයේ පළමු වසරේ අධ්‍යාපනය ලබන බාල දරුවා නිවෙසට කැඳවාගෙන ඒමට පාසලට ගිය ගාල්ල පිලාන නාගස් හන්දියේ පදිංචි 39 හැවිරිදි කලුතොටගේ උදය කුමාර ආරක්ෂාවට යොදවා සිට හමුදා භටයකු ගේ වෙඩි පහරින් මියගොස් තිබුනේ ජුලි 4 දාය.

නාවික හමුදා තූර්ය වාදකයකු වන ඔහුගේ පපුවේ වෙඩි සලකුණක් තිබුනු බව තුවාලකරු ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට රැගෙන ගිය ප්‍රදේශවාසියකු පවසා තිබුනි.

පොලිසිය පවසන්නේ මියගිය උදය කුමාර විදුහලට බලහත්කාරයෙන් ඇතුල් වී ආරක්ෂාවට යොදවා සිටි හමුදා නිලධාරියාගේ ගිනි අවිය උදුරා ගැනීමට ගත් උත්සාහය මැඩ පැවැත්වීමට වෙඩි තබන ලද බවයි.

“විදුහලේ එක් දොරටුවක් ආසන්නයේ රාජකාරි යොදවා සිටි නිලධාරියකු විසින් බලහත්කාරයෙන් විදුහලට ඇතුල් වීමට උත්සහ දැරූ පුද්ගලයකු නතරකර පරීක්ෂා කිරීමට උත්සාහ කර ඇති අතර එම යුධ හමුදා නිලාධාරියාට බාධා කරමින් ගිනි අවිය උදුරා ගැනීමට උත්සහ දරා ඇත. එම අවස්ථාවේදී එය මැඩ පැවැත්වීමට එම පුද්ගලයාට වෙඩි තබා ඇත,” හමුදා මාධ්‍ය ප්‍රකාශක නීතිඥ රුවන් ගුණසේකර වෙඩික්කාර සොල්දාදුවා ගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් නිකුත් කළ නිවේදනයක දැක්වේ.

ගිනි අවිය සමග අත් අඩංගුවට ගත් සොල්දාදුවා හෝ මරුමුවට පත් තුන්දරු පියා නම් කර නැති එම නිවේදනයේ වින්දිතයන් හෝ ඇසින් දුටුවන් ගේ සාක්ෂි වලින් පැවසෙන්නේ කුමක්දැයි කියා නැත.

කෙසේ වෙතත්, මරා දමන ලද උදය කුමාරගේ බිරිඳ පවසන පරිදි වෙඩි තැබීම සිදුවී ඇත්තේ ගැටුම්කාරී තත්වයක් මැද නොවේ.

“පැත්තට අඬගහලලු වෙඩි තියලා තියෙන්නේ,” යි ඇය හඬමින් මාධ්‍යවේදීන්ට පවසා තිබුනි.

ඝාතනය සිදුවන අවස්ථාවේ එතැන සිටි ඔවුන්ගේ වැඩිමහල් දියණිය පැවසුවේ තම පියාණන් “මගේ ගාව කකුල් දෙක ගාව ඇදගෙන වැටුන” බවයි.

නිදහස් මාධ්‍ය ක්‍රියාධාරිනී සිතාරා කුලරත්න පවසන පරිදි යුද සෙබලා සහ තුන්දරු පියා අතර බහින් බස් වීමක් කෙලවර වී ඇත්තේ මරණයෙනි.

ඇය විසින් “හමුදා වෙඩි පහරින් පියෙකු මිය යාමේ ඇත්ත” යන හිසින් මුහුණු පොතේ තබා ඇති සටහනක මෙසේ දැක්වේ.

“තම දියණිය අසනීප වීම හේතුවෙන් දියණිය රැගෙන යාමට පාසලට පැමිණෙන ලෙස මෙම පියාට දැනුවත් කිරීම කර තිබුනේ පාසල් බලධාරීන් විසිනි. ඒ අනුව මෙම පියා පාසලට යන විට පාසල් ගේට්ටුවේ කිසිඳු ආරක්ෂක නිලධාරියෙකු නොසිටි අතර පාසල තුලට ගිය පිය දියණියද රැගෙන පාසලෙන් පිටතට ගොස් ඇත. පාසල අවසන් වන වෙලාවට මෙම පුද්ගලයා නැවත පාසලට පැමිණියේ තම අනෙක් දරුවා රැගෙන යාමටය. එම අවස්ථාවේ පාසල ගේට්ටුව අසල ආරක්ෂාවට රැදී සිටි හමුදා සෙබලා මෙම පියාට පාසලට ඇතුල් වීමට ඉඩ නොදෙන අතර පියා සහ හමුදා සෙබලා අතර බහින්බස් වීමක් සිදුව තිබේ. එම බහින්බස් වීම සිදු වන්නේ, තමන් අසනීප වූ දරුවා රැගෙන යාමට පාසලට පැමිණි අවස්ථාවේ කිසිඳු ආරක්ෂක නිලධාරියෙකු නොසිටි අතර දෙවන දරුවා රැගෙන යාමට පැමිණි විට පාසලට ඇතුල් වීමට නොදෙමින් කරන ආරක්ෂක වැඩ පිළිවෙල කුමක්ද යන්න පිළිබඳවයි. ඒ අනුව බහන්බස් වීම දුරදිග ගොස් අදාල පියාට හමුදා නිලධාරියා වෙඩි තබා ඇති අතර එමගින් පියා මිය ගොස් ඇත.”

පාසල් රැකවල් සඳහා යොදවා ඇති හමුදා භටයන් සහ ගුරුවරුන් අතරද ගැටුම් හටගැනීම පිළිබඳව වාර්තා ලැබී ඇති බව පවසන ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් “නොඑකඟතා ඇතිවනවිට තුවක්කු අමෝරා ගෙන එනවා නම් ඉතාම භයානකයි,” යනුවෙන් අනතුරු අඟවා සිටී.

මානවිල උපනන්ද කනිෂ්ඨ විද්‍යාලයේ ඝාතනය සම්බන්ධයෙන් පොලිසියට අමතරව ශ්‍රී ලංකා යුද හමුදාවද පරීක්ෂණයක් පවත්වන බව හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු පවසයි.

ලංකා ගුරු සංගමය පවසන්නේ ස්වාධීන පරීක්ෂණයක් පැවැත්විය යුතු බවයි. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව පාසල් වලට සන්නද්ධ භටයන් යෙදවීමට රජය තීරණය කළ අවස්ථාවේම එහි අනිටු පලවිපාක ගැන එම සංගමය අනතුරු අඟවා තිබුනි.