“තවත් ප්‍රහාර” ගැන බුද්ධි වාර්තා නිසා මුස්ලිම් ජනතාව භීතියෙන් | VIDEO

Report
5Shares

ඉදිරි කාල පරිච්ඡේදය තුල තවත් පිපිරීම් සිදුවිය හැකි බවට බුද්ධි අංශ වාර්තා මගින් කරන ප්‍රචාර මුස්ලිම් ජනතාව බියගැන්වීමට හේතු වන බවට වාමාංශික නායකයෙක් අනතුරු අඟවයි.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව හදිසි නීතිය පනවා කරන අත් අඩංගුවට ගැනීම් මුස්ලිම් ප්‍රජාව පීඩාවට පත් කර ඇති බවට තොරතුරු දේශීය හා ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන විසින් හෙළි කර තිබියදී එම අනතුරු ඇඟවීම කරන්නේ නව සමසමාජ පක්ෂ නායකයායි.

මුස්ලිම්වරුන්ට එරෙහිව බෞද්ධ ජාතිකවාදීන් දියත් කරන ප්‍රචණ්ඩතාව මෙන්ම හිතුමතේ අත් අඩංගුවට ගැනීම් ද ඉහල ගොස් ඇති බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය පෙන්වා දී තිබුනි.

සැකය සහ අවිශ්වාසය පදනම් කරගැනීම නිසා සිදුකෙරෙන අත් අඩංගුවට ගැනීම් වල නීති විරෝධී ස්වභාවය පෙන්වා දෙමින් පොලිස් ප්‍රධානියාට ලිපියක් ලියන ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසමද නිර්දේශ කර තිබුනේ සංස්කෘතික සංවේදීතාවකින් යුතුව කටයුතු කරන ලෙසයි.

සෑම ඉරිදාවකම ප්‍රහාර සිදුවෙතැයි ප්‍රචාරය කරනු වෙනුවට වඩාත් සැලසුම් සහගත ක්‍රියාමාර්ග ගැනීම මුස්ලිම් ජනතාවගේ බිය දුරු කර ලීමට හේතු වනු ඇති බව නසසප නායකයා පෙන්වා දෙයි.

“මුස්ලිම් ජනතාවගේ ගෙවල් වටලනවා වෙනුවට විධිමත් ක්‍රියාමාර්ගයක් ගන්න ඕනේ,” යි ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න පවසා සිටියේ ගගන මාධ්‍යවේදී චමිල්ක සම්පත් සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනි.

පාස්කු ප්‍රහාරය පවා මුස්ලිම් ජනතාව සම්බන්ධ වූ එකක් නොවන බව අවධාරණය කළ නසසප ප්‍රධාන ලේකම් වරයා කියා සිටියේ “ISIS නම් වෙනම ධර්මයක්” පිළිපදින පිරිස් ඊට වගකිව යුතු බවයි.

මුස්ලිම් වෙළෙඳ ව්‍යාපාර වර්ජනය කිරීම සඳහා අනුශාසනා කළ අස්ගිරි මහනාහිමියන් භික්ෂුවක් ලෙස පිළිගත නොහැකි බව ප්‍රකාශ කළ ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න එවැනි ජාතිවාදී ප්‍රචණ්ඩ ක්‍රියා උසිගන්වන්නන් අත් අඩංගුවට නොගතහොත් තවත් මුස්ලිම් ජනතාව ISIS ධර්මය වැළඳ ගැනීමේ අවදානම ගැනද අනතුරු අඟවා සිටියේය.