ඇසළ උත්සවය සමයේ නැගෙනහිර පලාතට විශේෂ බස්රථ සේවාවක්

Report
1Shares

කතරගම ඇසළ උත්සවයට පැමිණෙන බැතිමතුන්ගේ ගමන් පහසුව සඳහා මේ මස 13 සිට 17 වැනිදා දක්වා කතරගම සිට නැගෙනහිර පලාතට විශේෂ බස්රථ සේවාවක් දියත් කරන බව ලංකා ගමනා ගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ධාවන සී.එච්.ආර්.ටී .චන්ද්‍රසිරි මහතා පවසයි.

ඇසළ උත්සවය පසුගිය 03 වැනි දින ආරම්භ කළ අතර යාල කැලයේ සිට පාද යාත්‍රාව සඳහා පැමිණි බැතිමතුන් කටගමුව හමුදා කඳවුර හරහා පූජා භූමියට ගමන් කෙරේ. එහිදී කොපමණ බැතිමතුන් පිරිසක් පැමිණියේද යන්න යුධ හමුදා කඳවුරේදී ගණනය කෙරේ.

ඒ අනුව බැතිමතුන්ගේ ගමන් පහසුව සඳහා කිසිදු අපහසුතාවයකින් තොරව ලංගම බස්රථ 100 ක් පමණ ධාවනයට එක්කල හැකි බවද චන්ද්‍රසිර මහතා පවසයි.

කතරගම සිට ත්‍රිකුණාමලය, අම්පාර, කල්මුණේ, මඩකලපුව, වාලච්ජේන, අක්කරෙයිපත්තු යන ප්‍රදේශ බලා බස්රථ ධාවනය කෙරෙන අතර අදාල බස්රථ සඳහා ආසන වෙන්කර ගැනීමේ පහසුකම්ද සපයා තිබේ.

නැගෙනහිර පලාතේ සිට කතරගමට හිස් බස් පැමිණෙන බැවින් කතරගමින් නැගෙනහිර පලාත බලා බස්රථවල ගමන්ගන්නා මගීන්ගෙන් සාමාන්‍ය ගාස්තුවට වඩා සුළු මුදලක් වැඩියෙන් අයකෙරෙනු ඇත.

මෙහිදී 17 වැනි දින විශේෂ රාජකාරී සඳහා පැමිණි අවසන් නිලධාරීයා දක්වාද බස්රථ ධාවනය කරන බවද චන්ද්‍රසිරි මහතා වැඩිදුරටත් පැවසුවේය.