ඖෂධ ගෙන්වීම විනිවිද නොවන බව දිගින් දිගටම ප්‍රකාශ කරන හේතුව වෛද්‍ය අනුරුද්ධ පාදෙණියගෙන්

Report
2Shares

පොදු ආකල්ප, පොදු ප්‍රතිපත්ති නොමැතිව සුළු වාසි තකා පක්ෂ දේශපාලනය කිරීමේ ක්‍රමවේදය ඉවත් කර ගත යුතුව ඇතැයි මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමියන් පවසති.

උඩරට ගිවිසුම වර්ෂ 1815දී අත්සන් කරන අවස්ථාවේ මෙරට වැසියන් එදා සිදුවන්නේ කුමක් දැයි නොදන්නා අයුරින් ම අදත් මෙරට සිදුවන දේ වැසියන් නොදන්නා තත්ත්වයක් උදාවී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ නිලධාරීන් හමුවේ අනුනායක හිමියන් මේ බව කීහ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා ඇතුලු එම සංගමයේ නිලධාරීන් පිරිසක් මහනුවරට අද (11) පැමිණ දන්තධාතූන් වහන්සේ වැද පුදාගැනීමෙන් පසු මල්වතු පාර්ශවයේ අනුනායක හිමියන් බැහැ දැක සිය සංගමයේ ඉදිරි වැඩපිළිවෙල සහ රටේ වත්මන් තත්ත්වය පිළිබඳව කරුණ පැහැදිලි කර සාකච්ඡා කළහ.

මේ වන විට රටේ සම්පත් විවිධ රටවලට අලෙවි කරන සැලසුම් මහා පරිමාණයෙන් දියත්වන බව අනුනායක හිමියන්ට ප්‍රකාශ කළ එම සංගමයේ සභාපතිවරයා, රටේ පාලකයන් අතින් සිදුවන එවැනි නිවරැදි නොවන ක්‍රියාවන් පාලනය කිරීම සඳහා විවිධ වෘත්තිකයන්ගෙන් සැදුම් ලත් එකමුතුවක් සකස් කරන බව කීවේය.

මේ වන විට තම සංගමය විසින් යෝජනාවලියක් සකස් කර ඇති බවත් එහිදී පාලකයන් රටේ තාවකාලික භාරකරුවන් මිස හිමිකරුවන් නොවන නිසා සම්පත් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු අනුමැතිය නොව මහජන අනුමැතිය ලබා ගත යුතුව ඇතැයි කීවේය.

ඇමරිකාවට බිම්තීරුවක් ලබා දීමේදී දේශපාලඥයන් මුදලට ලබා ගත හැකි බැවින් පාර්ලිමේන්තු අනුමැතිය නොව ජනමත විචාරණයක් ලබා දී මහජන කැමැත්ත ලබා ගැනීමේ ක්‍රමවේදයක් යෝජනා කර ඇතැයි කීවේය.

බාල ඖෂධ රටට ගෙන්වීම නිසා ජනතා ජීවිත අනාරක්ෂිත වී ඇතැයි කී වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා, මේ පිළිබඳව ආයතන දොළහකට ආසන්න ප්‍රමාණයකට පැමිණිලි කර ඇතත් පැමිණිලි භාර ගැනීමේ හා විමර්ශනය කිරීමේ කිසිදු සාර්ථක ක්‍රමවේදයක් මෙරට නොමැති බව ඒ මහතා කීවේය.

ඖෂධ ගෙන්වීම විනිවිද නොවන බව දිගින් දිගටම ප්‍රකාශ කරන්නේ රුපියල් හැටක් වැනි අඩු මුදලකට ලබා දිය හැකි ඖෂධ වර්ගයක් රුපියල් දෙදහසට පමණ ලබාදීමට රජය කටයුතු කරන බව සහ බාල ඖෂධ ගෙන්වීම පාලනය කරන ලෙස විසිදහසකට අධික වෛද්‍යවරු දිගින් දිගටම ඉල්ලා සිටියදී ඒ වෙනුවට යළි අදාල ආයතනනයටම ටෙන්ඩරය ලබාදීම නිසා යැයි වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.