තේරීම් කාරක සභාවට “බයක් නැතිව” යනවා: අගමැති | VIDEO

Report
2Shares

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු දැක්වීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවට “බයක් නැතිව” යන බව අගමැතිවරයා ප්‍රකාශ කරයි.

අප්‍රේල් 21 වැනිදා ලංකාවේ විවිධ ස්ථානවල සිදු වු බෝම්බ ප්‍රහාර පිළිබඳ සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරිගේ ප්‍රධානත්වයෙන් පිහිටුවන ලද කමිටුවට අගමැතිවරයාද කැඳවා තිබේ.

“තමන් දන්නා කරුණු” එහිදී එලි දක්වන බව අගමැති රනිල් වික්‍රමසිංහ ජනමාධ්‍ය වෙත නිකුත් කළ විශේෂ නිවේදනයකින් දන්වා තිබේ.

“මේ තේරීම් කාරක සභාව ගැන සමහරු විවිධ දේ කිව්වත්, එය නිත්‍යානුකූල බව අධිකරණයත් පිළිගෙන තියෙනවා. අපට හංගන්නට දෙයක් නැහැ. ඒ නිසා තේරීම් කාරක සභාව හමුවට යන්නට බයක් නෑ. මාවත් කාරක සභාව විසින් කැඳවා තියෙනවා. මම එය හමුවට ගොස් මා දන්නා තොරතුරු කියනවා.”

ප්‍රහාරය පිළිබඳ බුද්ධි අංශ තොරතුරු නිසි ආකාරයට නිසි තැන්වලට සන්නිවේදනය නොවීමත්, ආරක්ෂක බුද්ධි මණ්ඩලයේ අවධානය නිසි අයුරින් යොමු නොවීමත් ප්‍රශ්න ලෙස පවතින බව අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි.

තේරීම් කාරක සභාව මගින් ද, අධිකරණය හමුවේ පැවැත්වෙන නඩු විභාගයක් මගින්ද සත්‍යය හෙළිදරව් කරගත හැකි බවට අග්‍රාමාත්‍ය වරයා විශ්වාසය පලකරයි.