“උදේ හවස බුදුන් වඳින” ජනපති ඇසල පෝය උදාවේත් එල්ලුම් ගහේ ගුණ වනයි | VIDEO

Report
4Shares

මරණීය දණ්ඩනය අහෝසි කිරීම වෙනුවෙන් පාර්ලිමේන්තුවේ පනතක් සම්මත කරගැනීමට ගන්නා උත්සාහය හෙලා දකින ජනාධිපති එල්ලුම් ගහ යුක්ති සහගත කිරීම වෙනුවෙන් ඇසල පෝදාට පෙර දිනයේ නැවත වතාවක් මහත් ඕනෑකමින් යුතුව ඉදිරිපත් වී තිබේ.

යෝජිත පනත පාස්කු ඉරිදා ප්‍රහාරයට වගකිවයුත්තන් ගලවාගන්නට දරන උත්සාහයක් ලෙස ජනාධිපතිවරයා විසින් හෙලා දකින ලද්දේ පැළෑඳ රජමහා විහාරයේ අභිනවයෙන් ඉදිකරන ලද සර්වඥ ධාතු මන්දිරය, පුස්තකාලය සහ ධර්ම මන්දිරය සඟ සතු කොට පූජා කිරීමේ පින්කමට සහභාගි වූ පිඹුරේ උදිත මහ නාහිමි ප්‍රමුඛ ගිහි, පැවිදි බෞද්ධ සැදැහැවතුන් හමුවේය.

පැළෑද රජමහා විහාර දේශනාව පවත්වමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් තමන් හඳුන්වා දෙන ලද්දේ “උදේ හවස බුදුන් වන්දනා කරන, දෙවියන්ට පිං දෙන කෙනෙක්” ලෙසිනි.

හතලිස් අවුරුද්දකට වැඩි කලක් අත්හිටුවා තිබූ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ ජනපති තීරණය වලක්වාලීම සඳහා එය සදහටම අහෝසි කිරීම වෙනුවෙන් පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන බන්දුලාල් බණ්ඩාරිගොඩ මන්ත්‍රීවරයා නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍ය රාජිත සේනාරත්නද එම අවස්ථාවට එක් වී සිටියේය.

“අප්‍රේල් 21 මේ රටේ මහා මිනිස් ඝාතනයක් කරපු ත්‍රස්තවාදීන්ටත් නීති පොතේ තියෙන මරණීය දණ්ඩනය දෙන්ඩ බැරිව යනවා, ඒකත් වලක්වන්න තමයි මේ පනත ගේන්නේ කියලා මට එහෙනම් කියන්න සිද්ධ වෙනවා,” යි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශ කළේය.

වරද ගණනාවක් සඳහා මරණ දඬුවම නියම කෙරෙන “නීති පොත වෙනස් කිරීමක්” ලෙස ජනාධිපතිවරයා විසින් යෝජිත පනත දෝෂ දර්ශනයට ලක් කරන ලදී.

මරණීය දණ්ඩනය ක්‍රියාත්මක නොකිරීමේ ජගත් සම්මුතියක පාර්ශවකාර ශ්‍රී ලංකාවේ ජනාධිපති වරයා හතර දෙනකු එල්ලා මැරීමට දී ඇති අනුමැතිය රටේ ඉහලම අධිකරණය විසින් අත්හිටුවා තිබේ.