“ගිලිහී යන ජනප්‍රියත්වය රැකගන්න මිනිස්සු එල්ලා මරන්න එපා” ජනපතිගෙන් ඉල්ලීමක් | VIDEO

Report
1Shares

පාස්කු ප්‍රහාරයේ වගකීම බාර ගන්නට සිදු වීමේ අවදානම හමුවේ “බාල ජනප්‍රියත්වයක්” වෙනුවෙන් මිනිසුන් එල්ලා මැරීමට පියවර නොගන්නා ලෙස ආණ්ඩු පක්ෂය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී.

පාර්ලිමේන්තු පනතකින් මරණ දණ්ඩනය අහෝසි කිරීම “පාස්කු ප්‍රහාරයේ අපරාධකරුවන් ගලවා ගැනීමේ වෑයමක්” ලෙස හෙලා දකින ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ දැඩි දෝෂ දර්ශනයට ලක්විය.

ජනාධිපතිවරයා “පාස්කු ඉරිදා ප්‍රහාරයේ වගකීම කරකැවිලා තමන්ගේ පැත්තට එනවා කියලා දැනගත්තාම නිකං බාල ජනප්‍රියත්වයක් හොයනවා,” යයි මරණ දණ්ඩනය අහෝසි කිරීමේ පනත පාර්ලිමේන්තුවට ගෙනා එජාප මන්ත්‍රී බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මන්ත්‍රීවරයා අරලියගහ මන්දිරයේදී මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශ කළේය.

මාධ්‍ය හමුවට පෙර ඔහු ඇතුළු එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායමක් හමුවූ යුරෝපා සංගමයේ දූත මණ්ඩලයක් මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා ගන්නා උත්සාහය සම්බන්ධයෙන් ඔවුන්ගේ විරෝධය පල කර තිබුනි.

“කවර තත්වයක් යටතේ හෝ වේවා, සෑම නඩුකරයක් සම්බන්ධයෙන්ම මරණ දණ්ඩනයට යුරෝපා සංගමය සහ එහි සාමාජික රටවල් දැඩිව හා පැහැදිලි ලෙස විරුද්ධ බව තානාපතිවරු අවධාරණය කළහ,” යි හමුවෙන් පසු යුරෝපා සංගමය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

එජාප මන්ත්‍රීවරුන් හමුවූ ඇම්නස්ටි ජාත්‍යන්තරයේ දකුණු ආසියා නියෝජිතයන් ශ්‍රී ලංකාවේ මරණ දණ්ඩනය අහෝසි කිරීමට ගන්නා උත්සාහය ප්‍රශංසාවට ලක් කර තිබුනි.

එල්ලුම් ගස යුක්ති සහගත කිරීමට කෙරෙන ප්‍රකාශ “බෞද්ධ නායකයෝ කියාගන්න අයට නොගැලපෙන කතා” බව මාධ්‍යවේදීන් හමුවේ පෙන්වා දුන් ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ලාල් බණ්ඩාරිගොඩ, මරණ දඬුවම අත්හිටුවීමට ජනාධිපතිවරයා 2017 දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේදී එකඟ වූ බවත් සිහිපත් කර දුන්නේය.

අපරාධ කරුවන් පුනරුත්ථාපනය නොකර මරා දැමීමේ ජනපති උත්සාහය බණ්ඩාරිගොඩ මන්ත්‍රීවරයා විසින් හඳුන්වා දෙන ලද්දේ “අතීසාරයට ගසන්නට ගිය අමුඩය ගැලවී ලෝකයට පෙන්වීමක්” ලෙසයි.

කෙසේවෙතත්, ජනාධිපතිවරයා අනුව යමින් එජාපයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස පෝරකය අනුමත කිරීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් අදහසක් පල කළේ නැත.