දොස්තර ෂාෆි කූඩු කළ නඩුකාරයාට විරුද්ධව කුමන්ත්‍රණ චෝදනා නගා පැමිණිලි

Report
6Shares

මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම් සහ බිරිඳ වෛද්‍ය හිරෝෂිනී ජයසිංහ

වඳ සැත්කම් කළ බවට ජනමාධ්‍ය සහ බෞද්ධ භික්ෂුන් විසින් නගන ලද චෝදනා වලින් නිදොස් කරනු ලැබ තවමත් සිරගත කොට සිටින මුස්ලිම් වෛද්‍යවරයා සම්බන්ධ නඩුව විභාග කළ විනිසුරුවරයාට එරෙහිව පැමිණිලි ගොනුවී තිබේ.

කුරුණෑගල මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම්ට විරුද්ධව අධිකරණ සේවා කොමිසම හමුවේ පැමිණිලි ගොනු කර ඇත්තේ තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයයි.

කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද අංශයේ ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍ය සේගු ශිහබ්දීන් මොහමඩ් ෂාෆිට එරෙහි චෝදනා සම්බන්ධයෙන් විභාග කිරීමේදී මහේස්ත්‍රාත්වරයා අතින් “වරදක් සිදුවී ඇත්ද යන්න ගැනත්, එය යම් කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළක කොටසක් ලෙස සිදු කළ අපරාධ වරදක්දැයි සොයා බලන ලෙසත්,” පැමිණිල්ල ඉල්ලා සිටියි.

වෛද්‍ය ෂාෆි ට එරෙහිව පොලිස් පරීක්ෂණ පවත්වන ලෙස උපදෙස් දී ඇතැයි කියන කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්ගේත්, මහේස්ත්‍රාත් හේවාවසම්ගේත් බිරින්දෑවරුන් ද කුරුණෑගල රෝහලේ වෛද්‍යවරියන් බව තරුණ ජනමාධ්‍යවේදීහු පෙන්වා දෙති.

හත්සිය පනහකට අධික සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශ ඇතුලත් පිටු 210 ක වාර්තාවක් අධිකරණය හමුවේ ගෙනහැර දක්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෛද්‍යවරයා ප්‍රමාණවත් සාක්කියක් නොතිබිය දී ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවට කරුනු දක්වා තිබියදීත්, කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා විසින් වෛද්‍ය ෂාෆි රිමාන්ඩ් භාරයට පත් කිරීම අධිකරණ සේවා කොමිසන් සභාවේ අවධානයට යොමුකර තිබේ.

චුදිත වෛද්‍යවරයා සම්බන්ධ පැමිණිල්ල 2019 ජුනි 27 වැනිදා කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේ දී කැඳවූ අවස්ථාවේ දී නඩුවේ පැමිණිලිකරුවකු, විත්තිකරු සහ අගතියට පත් පාර්ශ්වය නියෝජනය නොකරන කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂ දන්ත වෛද්‍ය සරත් වීරබණ්ඩාරට විවෘත අධිකරණයේ අදහස් දැක්වීමට මහේස්ත්‍රාත්වරයා අවස්ථාව දී ඇතැයි ද, එච්එස්ජී පරීක්ෂණය ගැන අදහස් දැක්වීමට ඔහු ප්‍රසව හා නාරිවේද විෂය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකු නොවන බව ද, දත් දොස්තරවරයකු වන අධ්‍යක්ෂ අධිකරණයේ දී දැක්වූ අදහස් නඩුවේ කාර්ය සටහන්වලින් ඉවත් කර ඇතැයි රහස් පොලිසිය වාර්තා කර ඇති බව ද තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය කළ පැමිණිල්ලේ දැක්වේ.

මීට අමතරව, මුස්ලිම් වෛද්‍යවරයාගේ දියණියන් දෙදෙනකුට අවමාන සිදුවන අයුරින් අසත්‍ය පුවත් පලකළ බවට චෝදනා ලබන 'දිවයින' පුවත් පතේ කර්තෘ අනුර සොලමන්ස් සහ මාධ්‍යවේදී මනෝජ් අබේධීර සහ තවත් අයෙකුගෙන් රුපියල් මිලියන පනහ බැගින් වන්දි ඉල්ලා නඩු පවරන බව දැනුම්දෙමින් මේ වනවිට එන්තරවාසි යව ඇති බවත් බව වෛද්‍යවරයාගේ නීතිඥ හිජාස් හිස්බුල්ලාහ් JDS වෙබ් අඩවියට පවසා තිබුනි.